පිරුළු හා කියමන්

හදවත ට දැනෙන පිරුළු හා කියමන් අපට නිතර මුණගැහෙනවා... මං හිතුවා එවැනි දේ ගැන මේ ඉඩ වෙන් කරන්න...

මං අද මගේ හුටු හුටුවේ නැගලා එනකොට තරමින් ටිකක් විශාල ලොරියක් නිසා මගේ වේගය අඩාල කරන්න වුණා. ලොරියට ඉස්සර කරන්න උත්සාහ කරන අතර මං දැක්කා මේ ලොරියේ පිටි පස්සේ ලියලා තිබුණු අපූරු කියමනක්.
                                                                                                                                                                 
"අතේ සතේ නැති වුණත් පුතේ කියා අම්මා කියයි.."
කොයි තරම් අපූරු කියමනක්ද කියලා මට හිතුණා...  අම්මාට විතරක් නෙවෙයි. අප්පච්චීටත් මට සල්ලි තිබුණත් නැතත් මං පුතා ම තමයි.... මුදල් මූලික ලෝකයේ මුදලට නොවිකිණෙන අම්මලා අප්පච්චිලා වෙනුවෙන් මං මේ කියමන මෙතන දාන්න හිතුවා..... හොඳයි නේද...?

                                                                                                                                                                
මේක නම් ටිකක් පරණ කියමනක්. ඒත් ටිකක් ජනප්‍රිය එකක්...

"මූණේ ලස්සන හදවතේ තියේනම්...."


අපේ මිනිස්සු (වැඩියෙන්ම ගෑණු)  ෆේෂල් දාලා, ෆේස් වොෂ් ගාලා, ක්‍රීම් උලලා, ලිප්ස්ටික් ගාලා...... ඔන්න ඔහොම ගොඩාක් දේ කරලා.... ලස්සන මූණක් අරගෙන එනවා..... ඒත් එයාලගේ හදවතේ ඒ ලස්සන තියෙනවද....? කොයි තරම් යථාර්ථවාදී කියමනක් ද...? 


                                                                                                                                                                
 මේක අපේ පැරණි ප්‍රස්ථාව පිරුලක්...
"ගිලීමලෙත් ඇත දත සුද්දෝ..."


ගිලීමලේ කියන්නේ සෑහෙන්න දුෂ්කර ගම්මානයක් හැටියටයි ඒ කාලෙ සැලකුවේ... ඒ කාලේ ගැමියන්ගේ ප්‍රධාන පුරුද්දක් තමයි බුලත් විට හපන එක. ඉතින් මේ අයගේ දත කට රතු පාටින් තමයි දිස් වෙන්නේ.... 
ඒත් මේ ගැමියන් අතරත් බුලත් විට හපන්නේ නැති අය හිටියාලු... ඒ හින්දා තමයි මේ උපහැරණය බිහි වුණේ... ඒත් මේකෙ මීට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා.... ඒ තමයි....


ඕනෑම නරක කණ්ඩායමක හොඳ අයත් හොඳ කණ්ඩායමක නරක අයත් ඉන්න පුළුවන් කියන එක.....
                                                                                                                                                                
හිත ඇත්නම් පත කුඩාද?
කරන්න අමාරුයි කියන ඕනැම වැඩක් හිතේ ධෛර්‍යය තියෙනවනම් කරන්න පුළුවන් කියන එක තමයි මේ පිරුළේ අර්ථය. මගේ දිනෙත් මිත්‍රයා කියන විදිහට, ඔය "පත" කියන කුඩා ඒකකයෙන් මැනලා වුණත් මුහුදේවතුර මැනලා ඉවර කරන්න පුළුවන් හිතේ හයිය තියෙනවානම් කියන එක තමයි මේකෙ පැහැදිලි කිරීම.  


                                                                                                                                                                



රජකම් කළත් කළ කම් පල දෙනවාලූ?
අපි මොන යම් හරි වැරැද්දක්, පාප කර්මයක් කලොත් ඒකෙ විපාකය අපි මොන තරාතිරමේ හිටියත් ලැබෙනවා කියන එක තමයි මේ කියමනේ තේරුම. ලංකාවෙ අපිට නම් මේ කියමන කොයිතරම් හරිද කියලා කියන්න උදාහරණ ඕන තරම්.... 
                                                                                                                                                                

සල්ලිත් නෑ, සනීපත් නෑ, යාළුවොත් නෑ?
මේ ලඟදී බස් එකක් එනකම් බස් නැවතුමේ ඉන්නකොට තමයි මේ කියමන දැක්කේ. ගහලා තිබුණේ බස් එකක පිටිපස්සේ. අපි මේ තරඟකාරී ජීවන රටාවේ හති දාගෙන දුවනවානේ.. ටික දුරක් දුවලා ආපස්ස හැරිලා බැලුවාම හුඟ දෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති. මේ කියමන දැක්කාම මටත් මේ කියලා තියෙන්නේ මං ගැනද කියලා හිතුණා... 
                                                                                                                                                                


අඳුරේදී හෙවනැල්ල පවා අපව හැරයයි
මේ ලඟදී දවසක නවත්තලා තිබුණු බස් එකක තමයි මේ කියමන දැක්කේ. අපේ ජීවිතේ ප්‍රීතිමත් කාලයේ දී අපිත් එක්ක ලඟින්ම ඉන්න බොහෝ දෙනා අසරණ කාලයේ දී අපව අතහැරලා යනවා නේද කියලා මට හිතුණා. උදවු කරන්න උවමනාව තිබුණා වුණත් ඒ කාටවත් අපිත් එක්ක හැමදාම ඉන්න බෑ.. හෙවනැල්ලටත් ඒ වගේ නොවැ.. එළිය තියෙන වෙලාවට අපේ පස්සෙංම වැටිලා හිටියට, අඳුරෙදි අපිව අතහැරලා යන්න හෙවනැල්ලටත් සිද්ධවෙනවා..
                                                                                                                                                               
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
ඕනෑම ගැටුම් කාරී අවස්ථාවක් ඉවසීම තුළින් ජයගත හැකි බව මෙයින් පැවසෙන මූලිකම කාරණාවයි.. ඉවසීම යනු.. නිවට කම නොවන බව අප තේරුම්ගත යුතුය..
මෙම පිරුළට සම්බන්ධ ලස්සන කවියක් මට සිහි වේ..

ඉවසන දනා රුපු යුදයට ජය .........කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් .........මදිය
ඉක්මන් වුණ එකා ළඟ බඩු හත .......අටය
බඩුවක් නොමැති මා තවමත් කොට උඩය

2 comments:

වටිනා අදහස් ලියනු මැනේ..