Wednesday, October 4, 2017

ඡන්ද මෙච්චර ඕනම ද?

 පසුගිය වසර 8 ක පමණ සිට මෘදුකාංග අලෙවිකරුවන් වන අප අප ආයතනයේ විකිණුම් දත්ත විශ්ලේශනය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ.. පහත කාල වලදී අපගේ මෘදුකාංග සඳහා වන ඉල්ලුම ඉතා පැහැදිලිව පහල බසින බවයි..
1. ඡන්දයක් ප්‍රකාශයට පත් කළ දින සිට ඡන්දය පැවැත්වී සතියක් පමණ ගත වන තෙක්..
2. අලුත් අවුරුදු නිවාඩුව සහ නත්තල් නිවාඩුව ආශ්‍රිත දින වල.
මෙහිදී ඡන්දයක බලපෑම දීර්ඝ කාලයකට බලපවත්වන බව පැහැදිලිය. මෘදුකාංගයක් ස්ථාපනය කිරීම ආයෝජනයකි. අපගේ නිශ්පාදන මිළ දී ගන්නේ ලංකාවේ පවතින ආයතනයන්ය. මෙවන් කාල වලදී ආයතන වල ආයෝජන ක්‍රියාවලිය අකර්මන්ය වන බව මෙයින් පැහැදිලි වේ. මෙය රටෙහි සමස්ථ ආර්ථික ක්‍රියාවලියට ම බලපාන බව රටෙහි නීති හදන්නන්ට නොවැටහීම කණගාටුවකි.
අපේ රටේ ප්‍රධාන වශයෙන් ඡන්ද වර්ග කිහිපයක් ඇත.
1. ජනාධිපතිවරණය
2. පාර්ලිමේන්තු මැතිවරණය
3. පළාත් සභා මැතිවරණය
4. ප්‍රාදේශීය සභා/ නගර සභා මැතිවරණය (පුංචි ඡන්දය)
1 හා 2 ඡන්ද මේ වන විට පවත්වා වසර 2ක් පමණ ගත ව ඇති අතර 3 ඡන්දය අවසන් වරට පවත්වා වසර 3-4 ක් පමණ වන්නට ඇත. දැන් ප්‍රමාද කරමින් සිටින්නේ 4 හෙවත් පුංචි ඡන්දයයි..
මේ වගේ පුංචි රටක් පාලනය කරන්නට මේ තරම් විශාල දේශපාලන ආයතන සංඛ්‍යාවක් සහ සභිකයන් සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ ඇයිදැයි යන්න මට නොතේරුනත් මට ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ එය කරන්නට ම අවශ්‍ය නම්.. එය එක් ඡන්දයකින් හෝ දෙකකින් කරන්නට බැරි ඇයි දැයි යන්නයි.
පාලකයින් වෙනස් කිරීම හැරුණු කොට ජනතාවට ඡන්දයකින් වෙන මෙලෝ සුබසිද්ධියක් ඇත්දැයි මගේ කල්පනාවට එන්නේ නැත. නිසි ධූරාවලියක් (Hierarchy) සකස් කොට පහළ ම මට්ටමේ (4) ඡන්දයක් පවත්වා .. ඒ හරහා පිළිවෙලින් 3,2,1 යන ආයතන වලට සභිකයන් පත් කළ හැකි නම්.. ජනතා මුදල් මෙන්ම ජනතාවගේ වටිනා කාලය ද ඉතිරි කරන කටයුත්තක් වනු ඇත.

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..