Friday, September 15, 2017

5 ශිෂ්‍යත්වයේ දක්ෂයින් කොන් වෙයි ද?



පසුගිය දා නිමා වූ ශිෂ්‍යත්ව විභාගයේ දී සුළු සුළු වැරදි සඳහා ලකුණු කැපීම සිදු වන බැවු සැවොම කලින් ම දැනුවත් ව සිටි නිසා.. සුළු හෝ වැරදි නොකරන ලෙස දරුවන්ට උපදෙස් ලැබුණි. එයට අමතරව සාර්ථකව හා ඉක්මණින් කෙටි ක්‍රම හා කට්ට ක්‍රම ද දරුවන්ට ගුරුවරුන් විසින් ලබා දුන්නේ තම තමන් ගේ පූර්ව අත්දැකීම් ද උපයෝගී කර ගනිමිනි.


නිවැරදි පිළිතුරට යටින් ඉරක් ගසන්නට ඇති විට.. දිගු ඉරක් නො ඇඳ, කෙටි ඉරක් ඇඳීමට උපදෙස් දුන්නේ ද සාමාන්‍යයෙන් තිතක් නොවන තරම් ඉරක්.. පිළිතුර ලෙස භාර ගැනීම සාමාන්‍ය ක්‍රමය බව පවසමිනි. එහෙත් මෙවර දෙවන ප්‍රශ්න පත්‍රයේ දී.. එම උපදෙස පිළිපැදි දරුවන් අනාථ කර ඇත. එහිදී උපදෙස් දී ඇත්තේ පිළිතුරු අංකයට යටින් පමණක් ඉරි ඇඳි විට එය පිළිතුර ලෙස භාර නොගන්නා ලෙසයි.

මෙමඟින් දරුවෙකුට අහිමි විය හැකි ලකුණු ගනණ 30 කි. ප්‍රශ්න පත්‍රයේ උපදෙස් අතර වත් එවන් උපදෙසක් නැතිව.. පරීක්ෂාවේදී එවන් රීතියක් පැනැවීම කොයි තරම් අසාධාරණ දැ'යි අමුතුවෙන් කිව යුතු නැත.

දරුවන්ගේ දක්ෂතාවය මනිනවා වෙනුවට මෙවන් අමන රීතීන් හරහා දරුවන්ගේ ලකුණු අඩු කිරීම හරහා සිදුවන්නේ සැබෑ දක්ෂයින්ට පසුබෑමටය. එමඟින් සිදු වන්නේ හොඳයැයි සම්මත පාසැලකට යාමට අහිංසක, සාධාරණ දෙමවුපියන්ගේ දක්ෂ දරුවන්ට ඇති එකම අවස්ථාව ගිලිහී යෑමයි..

ප්‍රශ්න පත්‍රයේ ගනණක තිබූ වරදක් ද හඳුනාගෙන එයට හැම දරුවාට ම අදාල ලකුණු ප්‍රමාණය හිමි කර දීමට තීරණය කර ඇති බව ඇසුවෙමි. එය ඉතා හොඳ තීරණයකි. 

ඒ ආකාරයට මෙම ප්‍රශ්න 30 නැවත සමීක්ෂණය කළ හැකි නම් එය දරුවන්ට කරන බලවත් සාධාරණයක් වනු ඇත. 

වගකිව යුත්තන්ගේ දෑස් මේ කෙරෙහි යොමු වී මෙම දරුවන්ට සාධාරණයක් ඉටු වේවායි පතනවා හැර අපට කළ හැකි වෙනත් කිසිවක් වේදැයි අඩමාන ය.