Thursday, February 11, 2016

බැරිදා විග්‍රහය ! මාධ්‍ය වේදියා


මාධ්‍ය වේදියා හෙවත්.. ජනමාධ්‍ය වේදියා  ගැන මේ දින වල නිතර කතා වෙනු ඇසේ.. 

වේදියා කී විට .. කිසියම් විෂය පථයක් ඔස්සේ සිය දැනුම පුබුදුවා ගත්.. එකී විෂයයෙහි යම් පරිචයක් ඇති.. තම විෂයයෙහි ආචාර ධර්ම මනාව හඳුනන කෙනෙකු හැඳින්වෙන බව මගේ අදහසයි. 

සූප වේදියා ගේ විෂයය .. සූප ශාස්ත්‍රය වන පරිදි ම ජනමාධ්‍ය වේදියා ගේ විෂයය.. ජනමාධ්‍යය වන්නේය.. පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිණිය අද රටේ ප්‍රධානතම ජනමාධ්‍ය වන අතර.. එකී මාධ්‍යයන්හී තම වෘත්තීමය කාර්යයන්හී නියැලෙන්නෝ ජනමාධ්‍යවේදීන් ලෙස හැඳින්වේ.. 



කර්තෲ, ලේඛක, ඡායාරූප ශිල්පී, නිවේදක, ශබ්ද පරිපාලක, වැඩසටහන් සම්පාදක.. ආදී වශයෙන් අති විශාල පරාසයක විහිද ගිය පිරිසක් මෙම ජනමාධ්‍යවේදී.. කුලකයට අයත් වුවද, නිවේදකයා හා ලේඛකයා සෘජුවම ජනයා හා සම්බන්ධ වේ.. 

කරන කාර්යය කුමක් වුවද, තම වෘත්තියට අදාළ ආචාර ධර්මයන් ආරක්ෂා කොට සිය වෘත්තීය ගරුත්වය රැක ගැනීම කොයි කාගේත් වගකීම වේ. එහෙත් අද සිටිනා බහුතරයක් ජන සන්නිවේදකයින්.. වෘත්තීය ගරුත්වය ගැන වගේ වගක් නොමැතිව.. කවුරුන් හෝ හදා දෙන රාමුවක් ඔස්සේ නිදැල්ලේ සැරි සරණ බව කිව යුතුමය.. 

සිංහල බසෙහි ඇති ගුණාත්මක බව කෙළෙසමින්.. ලියන.. කියන.. කියවන ඔවුහූ..කියන්නට පටන් ගන්නේ කුමක්ද.. කියන්නේ කුමක් ද යන්න.. තමාවත් නොදන්නා ලෙසින් ඔහේ වචන විසි කරති.. තමා ගේ සීමාව සහ අනෙකාගේ පුද්ගලිකත්වයේ සීමාව නොදන්නා මොවුන් වැඩිපුරම කරන්නේ අනුන්ගේ කුණුකන්දල් ඇවිස්සීම ය.. 

තමා ගේ රාජකාරිය කුමක් ද යන්නත්.. එය සැම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සිදු කළ යුත්තේ කෙසේද යන්නත්.. දැනගත යුත්තේ මාධ්‍ය වේදියා පමණක් නොවේ. අප හැම දෙනාට ම ඒ වගකීම ඇත.. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙස හැඳින්වෙන ජනමාධ්‍ය.. අපක්ෂපාතීව, සාධාරණව, සංවේදීව කටයුතු කිරීම.. ජනතා ආකල්ප දියුණු කිරීමෙහිලා ඉතා වැදගත් වේ.. පුවතක් ඇති පමණින්.. එය රසවත්ව විකිණෙන පමණින් ඉදිරිපත් නොකොට.. එහි ගුණ අගුන විමසා බලා ඉදිරිපත් කිරීම ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ගේ වගකීමයි.

ජනමාධ්‍ය වේදීන්ට දේශනා පැවැත්වීම අගමැතිවරයාගේ කාර්යය නොවිය යුතු බව මහිම් මෙන්ඩිස් මහතා පැවසුවේය.. අගමැති ලෙසින් එසේ කරත්දී.. ඔහු අයතා බලපෑම් කරන බවක් හැඟෙන බැවින්.. එය එසේ නොවිය යුතු බව මගේ ද අදහසයි.. 

එහෙත් ආකල්පමය වශයෙන් පරිහාණියට යන රට ගොඩ ගැනීමට සිටින ශක්තිමත්ම කණ්ඩායමට යළිත්.. ප්‍රජාතන්ත්‍රයේ මුර බල්ලා වීමට අවස්ථාවක් ඇත.. ඒ සඳහා තමාගේ වගකීම තමා වටහාගෙන කටයුතු කළ යුතුය.. 

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ පක්ෂවාදය මතුකෙරෙන කාරණාවලදී වඩාත් විමසුම් ඇසින් කටයුතු කරමින් ද, භාෂාව හැසිරවීමේදී සහ සංස්කෘතික කාරනා වලදී වඩාත් සංයමයකින් කටයුතු කරමින් ද ජාතික, ආගමික සංහිඳියාව පිළිබඳ කාරණා වලදි.. වඩාත් ප්‍රායෝගිකව දැනුම බෙදා දෙමින් ද සිය ආචාර ධර්ම මනාව ආරක්ෂා කර ගනිමින් ද කටයුතු කරන්නට ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදියාට හැකියාව ලැබේවා කියා පතමින්.. මගේ සටහන නවතමි..





1 comment:

  1. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ පක්ෂවාදය මතුකෙරෙන කාරණාවලදී වඩාත් විමසුම් ඇසින් කටයුතු කරමින් ද, භාෂාව හැසිරවීමේදී සහ සංස්කෘතික කාරනා වලදී වඩාත් සංයමයකින් කටයුතු කරමින් ද ජාතික, ආගමික සංහිඳියාව පිළිබඳ කාරණා වලදි.. වඩාත් ප්‍රායෝගිකව දැනුම බෙදා දෙමින් ද සිය ආචාර ධර්ම මනාව ආරක්ෂා කර ගනිමින් ද කටයුතු කරන්නට ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදියාට හැකියාව ලැබේවා

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..