Thursday, November 17, 2016

බැරිදා විග්‍රහය! කල්ලි

අපේ රට නිරන්තරයෙන්.. ක්‍රමිකව හා ඉතා සීග්‍රයෙන්.. ආක්‍රමණය කෙරෙමින් පවතී.. එය සිදුවන්නේ විවිධ ආකාරයට ය.
1. දේශපාලන කල්ලි
2. පාතාල කල්ලි
3. ආගමික අන්තවාදී කල්ලි
4. ජාතිවාදී කල්ලි

ඔවුහූ තම ආක්‍රමණය විවිධ ස්වරූප හා විවිධ මං ඔස්සේ දියත් කරති.. මෙකී කල්ලි අතර අපූරු සහ සම්බන්ධතා ද පැවතීම ජුගුප්සාජනකය. මේ කල්ලි වලට මැදි නොවී නිදහස් මිනිසුන් අතලොස්ස .. තම තමන්ගේ හිතවතුන් එකී කල්ලි වලින් මුදවා ගැනීමට කෙතෙක් උත්සාහ දැරුවද එයින් පළක් නොවේ..
පළමු කල්ලි දෙක එළිපිට රටේ හා ජනතාවගේ දේපොළ සොරකම් කරමින් හා මංකොල්ල කමින් තම ආක්‍රමණය දියක් තරන අතර අනෙකුත් කල්ලි ජනතාවගේ මනස් විකෘති කරමින් සිය ආක්‍රමණය දියත් කරති..
ගැලැවුම ඇත්තේ.. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා සහ සැබෑ නිදහස ගැන සමස්ථ ජනතාවෙන් වැඩි පිරිසකට තේරුම් ගත හැකි වූ විට ය.
මීට වසර දෙකකට පමණ පෙර අතිශය දරුණු කල්ලියක දේශපාලන බලය නිම කොට තවත් දේශපාලන කල්ලියකට බලය ලබා දීමට ජනතාව සමත් විය.. එයින් අමු අමුවේ පාදඩකරණයට ලක්වූ නීතිය හා සාමය තව දුරටත් පවතින බවට සියුම් විශ්වාසයක් ජන හදවත් හී ඇතිවුණි. යහපාලනය ක්‍රියාත්මක කිරීමට කියා පැමිණි මෙකී කල්ලියට මෙන්ම ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ද යහපාලනයක සැබෑ වුවමනාවක් මෙන්ම සැබෑ අවබෝධයක් ද නොතිබුණු බව මොනවට පැහැදිලි වන්නේ ක්‍රමක්‍රමයෙන් නැවත එළිබැසගත්.. ඉහත කී කල්ලිවාදී ආක්‍රමණ වලට එරෙහිව ක්‍රියාත්මක (නො) වූ ආකාරයෙනි.
විශේෂයෙන් ම.. පසුගිය දශක කිහිපයක හෝ ඊටත් පෙර සිට කාලයක් තිස්සේ ම මුස්ලිම් අන්තවාදය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන අයුරු දැක ගත හැකි විය. එයට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදයක්ද වරින් වර මතු වුවද එය පැවති රජයෙන් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාත්මක වූයේ නැත. ඒ අතින් බලන විට ඔවුන් දෙගොල්ලන්ටම එතරම් වෙනසක් කර නැත.. එහෙත් අන්තවාදය ට පවතින්නට ඉඩ දුන් බව අමතක නොකළ යුතුය..
නව රජය පත්වූ පසු..ලද හැම විට ම.. සිංහල බෞද්ධ අන්තවාදී කොටස් මර්ධනය කරන්නට පෙළඹුනි.. එය සැබවින්ම අගය කළ යුතුය.. එහෙත්.. ඊට සමගාමීව එකී අන්තවාදයට හේතු වූ මුස්ලිම් අන්තවාදයට එරෙහිව අබැටක තරම් පියවරකුදු ලබාගැනීමට උනන්දුවක් නොදැක්වීය.. එය සැබැවින්ම පුදුමාකාර ලෙස සමාන දෙපිරිසකට දෙවිදිහකට සැලකීමකි.. අපට අවැසි එක රටකි.. එක නීතියකි.. අන්තවාදය මුස්ලිම් ද, සිංහල ද යන්න අදාළ නැත.. ඔවුන් මර්ධනය කළ යුතුය..

Thursday, November 10, 2016

ඒ නමින් අපි දිවුරමු..

Photo: සුවහසක් පැතුමන් දරා
මා සමඟ පියවර තැබූ
එදින සිට අද තුරා සිටියේ
රැල්ල හා වෙරළත ලෙසයි..
සොඳුර එය මහමෙර සමයි..

ටිකක් පැතුමන් ඉටු වුණා
හුඟක් සුසුමින් වැළලුණා
අලුත් සුළගින් පන්නරය ගෙන
අපිත් තව මුවහත් වුණා
දිනත්, වයසත් ගතවුණා..

උපන් දිනයෙහි සැමරුම
යෙදෙන පින්බර අද දින
සතුට හෝ දුක නොවේ ඇත්තේ
කල්පනාවයි හෙට ගැන
ඒ අපේ දරුවන් ගැන..

දුරු ව ලෙඩ දුක් දොස් හැම
පැතිර තුට සහ සැනසුම
දිනේවා මතු සදා සුරැකී
ඔබේ ඔය මිනිසත් කම
එයයි ඔබ සතු සම්පත..

මතුත් සසරෙහි හමු වෙමු
හැකි වුණොත් අපි එක් වෙමු
එදාටත් අද වගේ සොඳූරිය
හැබෑටම මිනිසුන් වෙමු
ඒ නමින් අපි දිවුරමු..




Saturday, August 20, 2016

රියැදුරු බලපතක් ලබා ගන්ට අමාරුද?

පහුගිය කාලෙ කරදර, ඉන් පස්සෙ වැඩ රාජකාරි.. එක පිටට ආපු හින්දා.. මං බ්ලොග් ලියන බවත් මට අමතක වෙන තරමට ම මං බ්ලොග් කෙරුවාවෙන් ඈත් උනා.. ඉඳලා හිටලා ලිපියක් එහෙම කියෙවුවා උනත්.. අනෙක් අයගෙ බ්ලොග් වලටත් ගොඩවුණේ අඩුවෙන්..

පහුගිය දවසක මගේ තරුණ බාල සහෝදරයෙක් එක්ක කතා කර කර ඉන්නකොට.. තමයි මේ ලිපිය ලියන්ට ඕන කියලා හිතුණෙ.. 


අපේ රටේ.. රජය මඟින් ලබා දෙන බොහොමයක් සේවාවන් තියෙනවා.. ඒවා හරියට ජනතාව අතරට ගිහිං නෑ.. ඒ කියන්නෙ.. ජනතාව දන්නෙ නෑ .. ඒ සේවාව ලබා ගන්නෙ කොහොමද කියලා. 

මං මගේ රියැදුරු බලපත මුලින්ම ලබා ගත්තෙ.. මට අවුරුදු 21 පිරුණට පස්සෙ.. ඒ.. කියන්නෙ 1998 දි.. ඒ බරවාහන බලපත ම ලබා ගන්ට ඕන නිසා.. ඉතිං සැහැල්ලු.. බර.. බයිසිකල්.. ආදී සියල්ල සපිරි... බලපතක් මං ලබා ගත්තෙ.. මං ඒක ලබාගත්තෙ.. "ලර්නර්ස්" එකක් හෙවත් රියැදුරු පුහුණු ආයතනයක් හරහා ඉදිරිපත් වීමෙන්.. හැබැයි .. මං ලොකු පුහුණුවක් ගත්තෙ නෑ.. දවස් 4-5 න් වැඩේ ෂේප් උනා.. මොකද.. මං ගෙදරදි බයිසිකල් සහ සැහැල්ලු වාහන පුරුදු වෙලයි එතනට ගියෙ.. ආයතනයෙ අයිතිකරු.. අපේ අප්පච්චිගෙ යාළුවෙකුත් වෙච්ච නිසා.. රුපියල් 3,500 ක් වගේ මුදලකට.. මේ සම්පූර්ණ ලැයිසොම ගන්ට ලැබුණා..

ඒ කාලෙම මට අහන්න ලැබුණා.. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා.. සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රය ඉල්ලුම් කරලා ලබාගන්න ක්‍රමවේදයක් තියෙනවා කියලා.. කොහොම උනත් ඒ ගැන එතනින් එහාට සොයන්න මට අවශ්‍ය උනේ නෑ.. ඒත් කාලෙකට පස්සෙ.. කීප දෙනෙක් ගෙ මැසිවිලි මට අහන්න ලැබුණා.. ලර්නර්ස් එකෙන් වැඩිපුර සල්ලි ගත්ත බවට
එග්සැමිනර් විසින් ට්‍රයල් හිතුමතේ ෆේල් කරන බවට..

අලුත් ම කතාව තමයි අපේ මල්ලිගෙ කතාව.. එතනදී එයාත් .. ලර්නර්ස් එකකට වැඩි ගානක් ගෙවලා.. ඒ ලර්නර්ස් එකෙන්.. එයාට අවශ්‍ය පහසුකම් හරියට සලසපු නැති එක ගැනත්.. මේ විදිහට ලයිසන් ගන්ට නම්.. වඩාත්ම හොඳ විදිහ වේරහැර ප්‍රධාන කාර්යාලයට යන එක බවත් තමයි මල්ලිගේ අදහස උනේ..

ඉතිං හොයලා බලද්දි.. ලැයිසොම ගන්න.. වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් වගේ ම තවත් දිස්ත්‍රික් කාර්යාල කිහිපයකුත්.. අනෙක් දිස්ත්‍රික් කාර්යාල වලිනුත් පුලුවන් කියලා මෙන්න මේ පිටුවේ තියෙනවා.. පුහුණුව තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් යන මුදලෙන් පහෙන් පංගුවක් වගේ මුදලකට මේ වැඩේ කරගන්ට පුළුවං වෙන ලකුණු තමයි පේන්ට තියෙන්නෙ..

ඉතිං නිකං ඉන්ට එපා... ලහි ලහියෙ ලැයිසොං ගන්ට..!

Thursday, June 30, 2016

චරිත වලට ආදරය කිරීම


මා මුලින්ම ආදරය කළ චරිතය වන්නට ඇත්තේ අම්මාය.. නැතහොත් අප්පච්චී ය.අත්තම්මලා, අක්කා මෙන්ම පුංචි අම්මලා, නැන්දලා, මාමලා සහ බාප්පලා ද ඒ අතර සිටින්නට ඇත.. පාසැල් ගුරුවරියන්.. අසල්වැසියන්.. යහළුවන්.. යෙහෙළියන් ගේ චරිත වලට ද මා ආදරය කරන්නට ඇත.. ඒ චරිත අතර මුලින්ම මට මතකයට එන්නේ එකේ පංතිය භාරව උන්නු නාවල මිස් නමින් හැඳින්වූ ගුරුවරියයි.... ඉතා වයෝවෘද වුවත්..  කරුණාබර ඇයගේ කතා බහ තවමත් සිතෙහි ඇතිවී නැතිවී යයි.. තුනේ පංතියේ දී ඉංග්‍රීසි ඉගැන්වූ රුවනි මිස් ගේ චරිතයටද මම ආදරය කළෙමි.. ඇය ඉතා තරුණ, ඉතා ලස්සන,ඉතා කරුණාබර ගුරුවරියක් වූවා පමණක් නොව..අපට අම්මා කෙනෙකු තරම් සමීප බවක් දැක්වූ බව මට සිතේ.. අවාසනාවකට මෙන් මේ පරමාදර්ශී ගුරුවරියන් දෙදෙනාම අද මිහිපිට නැත..
ඊ ළඟට මා ආදරය කළ චරිතය.. අපේ සංගීත ගුරුතුමා.. ඔස්ටින් මුණසිංහයන් ය.. ඇත්තටම එම ආදරයේ විශේෂත්වයක් ඇත.. ඒ ආදරය ඇති වූයේ.. එතුමා මිය ගිය පසු ය.. ඒ.. එතුමාගේ චරිතය පිළිබඳව, එතුමා මිය යෑමෙන් පසුව මා ඇසූ කරුණු හා මා අත්විඳ තිබූ කරුණු සැසැඳීමකින් පසුවය..
ගාමිණී දිසානායක මහතා ගේ චරිතයට මා ඉතා ආදරය කළ බව මට සිහිවන්නේ ඔහු මිය ගිය දින මට හැඬුම් ආ බව මතක නිසා ය. එහෙත් ඩී.බී. විජේතුංග චරිතයට මම ඊට වඩා කිහිප ගුණයකින් ඇලුම් කළෙමි.. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ චරිතයට ද මම ආදරය කළෙමි..
දුලිප්, රෝයි, අර්ජුන, අරවින්ද, රොෂාන්, ගුරා, සනත්, මාවන්, සංගා,මුරලි මෙන්ම, අසාරුදීන්, ස්ටීව් වෝ, බ්‍රයන් ලාරා, කාල් හූපර්, විවියන් රිචර්ඩ්ස් ඇතුළු බොහෝ ක්‍රිකට් චරිත වලට ද මම බෙහෙවින් ආදරය කළෙමි..
යුද්ධය අවසානයේ.. ගෝඨා සහ සරත් ෆොන්සේකා චරිත වලට ආදරය කළෙමි..
මිතුරන් අතර.. උතුම්, පරෝපකාරී, පරාර්ථකාමී මිතුරන්ට ද අප්‍රමාණව ආදරය කළෙමි..
නිසි වයස එළැඹි කල පෙම්වතියන්ට ද විවාහයෙන් පසු බිරිඳට ද ආදරය කළෙමි..
පසුගිය ආණ්ඩු පෙරළි සමයේ විචිත්‍ර කථිකයන් වූ පාඨලී, අනුර කුමාර, ලාල් කාන්ත වැන්නන් හට ද බෙහෙවින් ඇලුම් කළෙමි..

ආණ්ඩු පිහිටුවීමෙන් පසු වත්මන් ජනපති තුමා ගේ චරිතයට ද බෙහෙවින් ආදරය කළෙමි..
මෙකී ආදරය හා ගෞරවය.. අප කරන්නේ චරිත වලට ය.. ඔවුන්ගේ අප දකින ක්‍රියාකාරකම් වලට ය.. මිය ගිය අය හැර අනෙක් බොහෝ චරිත හිමියන්.. ඔවුනට අප ආදරය කර ඇත්තේ වැරදි වැටහීමකින් බව ඔප්පු කර හමාර ය..
ඒ අතර ප්‍රධාන ම දෙදෙනා .. අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා ය..
ඉතා ඉක්මණින්.. ඉතුරු දේශපාලන චරිත ටිකත්.. මගේ බලාපොරොත්තු සුන්කරනු ඇතැයි සිතේ..

මා කියන්නට ආවේ එය නොවේ..

ඉහත කී හැම තැනකම මා ආදරය කළේ ඔවුන්ගේ චරිතයටයි.. චරිත ලක්ෂණ වලටයි.. එහෙත් චරිතය මක්ක උනත් මා එක ලෙස ම ආදරය කරන දෙදෙනෙකු ඇත.. ඒ මගේ දරුවන් දෙදෙනායි.. ඔවුන් කෙසේ කොයි ලෙස හැසිරුණ ද... හදවතේ ඔවුන් වෙත ඇති ඉඩ කිසිදා නොවෙනස් වනු ඇත.. මා සිතා සිටියේ.. මා වැඩිපුරම ආදරේ කරන්නේ මගේ මවට බවය.. එහෙත් මා ආදරය කරන්නේ ද ඇගේ චරිතයටය. මවක් නම් ඈ බඳු විය යුතුය.. බිරිඳක් නම් මගේ බිරිඳ බඳු විය යුතුය..මම ඒ චරිත වලට ආදරය කරමි.. එහෙත්..දරුවන්.. මම ආදරය කරන්නේ ඔවුන්ගේ චරිත වලට නොවේ.. ඔවුන්ට ම ය..

Saturday, June 11, 2016

ජල - සසර


ඇලෙන් දොළෙන් ගඟට ගියා
ඟඟ නොබියව මූදු .........ගියා
මුහුදෙන් අහසටත් .........ගියා
පුදුමයි කන්දටත් ...........ගියා

කන්දෙන් ආ ජල ........බින්දූ
පොළොවෙහි සිසිලත් රැන්දූ
සිඳු කුස දඟ කළ .........ලන්දූ
එකමැයි නොසිතනු .....ඉන්දූ

මොහොතින් මොහොතට සැකසේ
තරමත් නොදනියි .........වෙහෙසේ
හරවත් යමකුත් .................රහසේ
ලොවටත් පුදමින් ............සැනසේ

හේතුව ඵල විලස ...................සැදී
ආ ගිය හැම තැනදි .................බැඳී
වෑහෙන පෙම ලොවට .............දිදී
ජීවය මුසු කරන ......................ලදී

කොහෙන්ද මේ තරම් වතුර
උල්පතකින් ඇදෙයි ..නිතර
කිසිදා නොම වේ ද ....නතර
සසර ඔහොම තමයි ...මිතුර

Thursday, June 9, 2016

බැරිදා විග්‍රහය ! මහින්ද කරන්නේ රනිල් ගේ කොන්ත්‍රාත්තුවක් ද?

ගිය වසරේ ජනවාරි 08 ඓතිහාසික තීන්දුවක් ගනිමින් ගෙදර යැවූයේ සදාකාලිකව රජ සැප විඳීමට සූදානම් ව සිටි මහින්ද රාජපක්ෂව ය. එතෙක්.. බොහෝ සොරුන් බලා ගන්නා අතර.. මහින්ද රනිල්ව ද බලාගත්තේය.. දැන් රනිල්ගේ වාරයයි.. රනිල් මහින්දව බලාගනී.. මොන වංගුව ගසා තිබුණත්.. රාජපක්ෂලා නිර්දෝෂී වන්නේ පුදුමාකාර ලෙසටය.. එක්කෝ නඩු යට යයි.. එක්කෝ විසිවෙයි.. ඉඳ හිට කරලියට නො එන්නේ ද නොවේ..

මහින්ද සාධකය විරුද්ධ පක්ෂයේ බලය අල්ලා ඇත.. එය සත්‍යයකි.. එහෙත්.. මහින්දට යළි බලයට එනු හැකි වෙතැයි.. මට නම් සිතෙන්නේ නැත.. රනිල්ටත් එසේ නොසිතෙන බව මට සිතෙයි.. රනිල් ට සිතෙන්නේ.. මහින්දව විශ්‍රාම යැවීම තම තක්කඩි කම්.. යටිකූට්ටු වැඩ කරගැනීමට බාධාවක් බව යැයි මට සිතෙයි.. එනිසා රනිල්.. මහින්දට බලයත් නොදී.. එහෙත්.. විශ්‍රාම යන්නටත් නොදී.. ඉන්න තැනට වැඩ කරයි.. රනිල්ට උවමනාවක් ඇත්නම්.. මහින්දව නැත්තටම නැතිකර දමන එක කජ්ජක් නොවන බවත්.. එසේ නැති කළොත්.. මෛත්‍රීට සහ ඔහුගේ පිළට ප්‍රතිවාදියාගේ ස්ථානය හිමිවන බවත් රනිල් දනී..

මහින්ද සිටින තාක්කල් මෛත්‍රීට ඡන්දය දුන් මධ්‍යස්ථ ජනතාව.. ආණ්ඩුවට විරුද්ධව මොනවා කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. රවී කරුණානායක, ජෝන් අමරතුංග, අකිල විරාජ් ඇතුළු ගොං ඇමති රැළ මොනවා කළත් කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. ඔවුන් ඡන්දය දෙන්නේ මහින්දට විරුද්ධවය.. මහින්ද විරෝධය විකුණාගෙන කෑමට නම්.. මහින්ද සිටිය යුතුය.. රනිල් මහින්දව රකින්නේ ඒ නිසාය.. ඒ නිසාය කිවුව්වට ඒ නිසා පමණක්ම නොවේය.. මේ නිසා ද රනිල් මහින්දව රකී.. ඒ.. මොනවා උනත් රනිල්ගේ එජාප නායක කම රැක දුන්නේ මහින්ද නිසා ය..

තමන් ගේ පුත්තු තුන් දෙනා.. තමන්ගේ නෝනා සහ තමන්ගේ මල්ලිලා දෙන්නා බේරාගන්නට මහින්දට ඕනෑ ය.. රිමෝට් එක රනිල් අතේ ය.. මේක නම් හොලිවුඩ් පිලුම් එකකට වඩා ජුගුප්සාජනක පිලුම් එකකි..

Sunday, May 29, 2016

චතුර වීරයෙක් ද?


දෙරණ ටෙලිවිෂන් එකේ පත්තරේ කියවන චතුර අල්විස් මහත්තයා.. දෙන්ඩ තැනක් තිබ්බොත් ඇට්ටි හැලෙන්ට දෙනවා.. ඔය පහුගිය දොහේ නැගෙනහිර මහ ඇමතිටත් දුන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා..
ඔය අස්සෙ ඕක දිරවන්නෙ නැති මහත්තුරු ටිකක්.. පහුගිය කාලෙ ඔය වගේ දේවල් උනාට කටක් හෙල්ලුවෙ නැති එක මතක් කරලා චතුරට කෝචොක් එකට පෝස්ට් දානවා..
ඒ වගේ ම මං දැක්කා මරා දැමූ ලසන්ත වික්‍රමතුංග මහත්තයයි.. චතුර මහත්තයයි සංසන්දනය කරලා පෝස්ටුවකුත් ගියා.. ඇත්තටම ලසන්තයි චතුරයි අහසට පොළොව වගේ.. ලසන්ත.. කවුරුත් වාර්තා කරන්ට බය වෙච්ච දේවල් බය නැතුව කළා.. චතුර.. බය වෙන්න ඕන තැං වල බය වෙලා.. සිංහයා වෙන්න පුළුවං තැන සිංහයා වුණා.. ක්‍රිකට් මැච් එකක උනත්.. අමාරුම පන්දු වලට ගහන එකාට නෙවෙයි නෙ මෑන් ඔෆ් ද මැච් හම්බුවෙන්නෙ.. වැඩිම ලකුණු ගහන එකාට නෙ.. අමාරු ම ටිකට නෙලලා.. මැච් එක ගොඩ දාගෙන එද්දි අවුට් උණොත්.. හුප්පෙ තමයි..

කොහොම උනත් චතුරලා දැංවත් ඔය විදිහට කතා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕන... කොහොම උනත්.. නියම ගානට ඔලුව අතගාලා ටොක්ක අනින්ට නම්.. චතුර.. හිරු එකේ රංගනගෙන් ටියුෂන් එකක් ගන්ට වටිනවා..

Friday, May 27, 2016

බැරිදා විග්‍රහය! වාහන එක්ක කඩවුණු පොරොන්දුව

බලයට ඒමට ප්‍රථම.. ජනපතිවරණයේදිත්.. මහ මැතිවරණයේදීත්.. අපේක්ෂකයින් විසින්.. පොරොන්දු දුන්නේ තොග ගානටය.. ජනපතිවරණයේ දුන් පොරොන්දු වලින් නම් බොහොමයක් ඉටු කරන්නට දින සියයේ වැඩ පිළිවෙල හරහා හැකි විය.. (ඒවා ප්‍රායෝගිකව රටට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම කතාවකි). මහ මැතිවරණයේදී වූ පොරොන්දු ඉටු වෙනවා වෙනුවට දැන් වෙන්නේ.. තිබුණාටත් වඩා වැඩේ ගැස්සෙන තත්වයක් බව බැලූ බැල්මට පෙනෙයි.. ඒත් ජනතාව එජාප ආණ්ඩුවක් පිහිටුවන්නට වරමක් නොදුන් නිසා දැන් පවතින හවුල් ආණ්ඩුවෙන් එදා පොරොන්දු වූ දේ සහසුද්දෙන් ම ලැබේ යැයි අපේක්ෂාවක් ඇති කර ගැන්ම ද නුසුදුසු ය.

අද අලුත් ම ආරංචිය.. වාහන මිළ ඉහල යාම ය. එය මට එතරම් වැදගත් ප්‍රවෘත්තියක් නොවුණේ.. මෑත කාලයේ දී වාහනයක් මිළ දී ගැනීමට කිසිදු අදහසක් මා තුළ නොවූ නිසා ය. එහෙත් එවන් අපේක්ෂා තිබූ බොහෝ දෙනා දැඩි ලෙස විස්සෝපයට පත් ව තිබෙන අතර.. මුදල් ඇමති ගේ මවු දෙමවුපියන්ව සිහිකර පුණ්‍යානුමෝදනා කිරීම සුලභ ව දැකිය හැක.

රට ට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණය පාලනය කිරීම
ආනයන වියදම් අඩු කිරීම හරහා රුපියලේ අගය අවප්‍රමාණය වීම අවම කිරීම
ඉහළ බද්දක් අය කිරීම හරහා වැඩි බදු ආදායමක් ලබා ගැනීම
වැනි සාධනීය ලක්ෂණ මෙම සංශෝධනය හරහා දැකිය හැකි වුවත්.. වාහන සිහින බොඳ වන අයගේ වේදනාව මෙවැනි තර්ක හරහා සමනය වේයැයි සිතිය නොහැක..

ආණ්ඩුව ගෙන ඇත්තේ අසීරු තීරණයකි.. මෙතරම් වේදනාවක් විඳීමෙන් තෘප්තිමත් ප්‍රත්ඵලයක් ලැබෙනු ඇතිදැයි නැවත නැවතත් සිතිය යුතුය..

Wednesday, March 9, 2016

ඔවුහු ද මිනිස්සු ය..

මාලිංග.. නායකත්වයෙන් ඉවත් විය.. මැතිවුස් නායකත්වයට පත් විය.. මැතිවුස්.. එය බාර ගත්තේය.. ඒත් පොඩ්ඩක් ඥං පචං ගෑවේය.. මට ඉතිං ඉන්න කණ්ඩායමෙන් කරන්න පුළුවං උපරිමේ කරනවා කීවේය.. ඒ කියන්නේ දැං ඉන්නේ හොඳම ටීම් එක නොවේ කියා නොකියා කීවේය.. ඇත්තෙන්ම ඒක හරි ය .. ඒත් කණ්ඩායමේ මොරාල් වලට අවුල් ද දන්නෑ ය..

මහේල, සංගා.. ගියාට පසු .. තිරිමාන්න හා චන්දිමාල් ඒ තැන ගනී ය කියා තිබූ විශ්වාසය දැන් පළුදු වෙලා ය.. දිල්ෂානුත්.. එන්න එන්නම දුර්වල වෙන පාට ය.. මැතිවුසුත්.. ළඟකදි.. හොඳ වැඩක් පෙන්නුවේ නැතිය.. කුසල් .. බෑන් වෙලාය.. තිසරටත්.. ළඟදී අඩියක් වැදුණේ නැතිය.. හොඳින් වැඩ පෙන්නං ආපු මිලින්ද..ද පහුගිය තරඟ වල ඒ හැටි වැඩ පෙන්නුවේ නෑ ය.. මාලිංගත් නිතර අසනීපෙන් ය..

ප්ලස් පොයින්ට් ලෙස පෙනෙන්නේ.. ශෙහාන්, කපුගෙදර සහ හේරත් වැනි කීප දෙනෙක් පමණක් ය.. ක්‍රීඩාව ඇත්තේ සමාජීය.. සුහදතාවය හා සාමූහික විනය සුරැකීමට ය.. නැතුව ඇර ගැනීමට නොවේ ය.. ක්‍රිකට් හොඳ ක්‍රීඩාවක්ය.. ඒක මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් වීමට නම්.. ක්‍රිකට් ගහන අය වගේ ම බලන අයත් මහත්තුරු වෙන්ට ඕනෑ ය..

ක්‍රීඩකයෝ ද මනුස්සයෝ ය.. මනුස්සයින්ට වරදිනවා ය.. දිනන එවුන්ට පරදිනවා ය.. වැරදි අදහස් හිතේ මතු වෙනවා ය.. හිතේ දුකට වගේ ම බයටත්.. එක එක දේ කියවෙනවා ය..

Sunday, February 28, 2016

කෝම්පිට්ටු...

            
රෑට බතට කන්ට කියල කෝම් පිට්ටුඉවුවා
කාට හැකිද ඕව' කන්ට! කියල' අම්ම'රැවුවා
ඊට පස්සෙ බත් ගෙනැල්ල' අනල' අනල'කැවුවා
පාට පිරුණු රහයි ගුණයි අපේ බඩට යැවුවා
  
කූට මිනිස් කැළයකි මේ අනතුරු ඇඟැවෙවුවා
මීට වඩා ඉවසිය යුතු බව නිතිපැහැදෙවුවා
දේට හොඳම යොමු කරද්දි බැන බැනඇහැරෙවුවා
දාට මියෙන ආඩම්බර වෙන්නට දිවුරෙවුවා
  
මෝටරේට බිලක් නැතිව රුහිරු කිරෙන්පෙවුවා
ඊට වැඩිය ඇගෙ කුස තුළ මාස ගණන්ගෙවුවා
ගාට ගාට උනත් හරි ම පාරෙන් අපයැවුවා
කාට ඕන නැතත් ඇයට අපව ඕනිකිවුවා
  

Wednesday, February 24, 2016

සංස්කෘතිය, සදාචාරය සහ සංවර්ධනය


සංවර්ධනය මදියැයි කියා ඇතැමුන් මැසිවිලි නගද්දී.. සංස්කෘතිය සහ සදාචාරය විනාශ වන්නේයැයි තවත් පිරිසක් මැසිවිලි නඟයි.. 

සමාජ හැසිරීමේ ස්වභාවය සංස්කෘතිය යන වදනින් දැක්වෙන අතර.. එය නිරන්තරයෙන් වෙනස් වන්නක් බව වටහා නොගැනීම තුළ ගැටළු බොහෝ.. ඇති වී තිබේ.. 

යහපත් වූ ආචාර ධර්මයන් සදාචාරය ලෙස දැක්වෙන අතර.. මේවා සංස්කෘතිය තරම් වේගයෙන් වෙනස් වන්නේ නැති.. බොහෝ සෙයින් වෙනස් නොවිය යුතු.. එහෙත් අලුත් විය යුතු.. ක්‍රියා පිළිවෙත් ය.. සංස්කෘතීන් වෙනස් වීමේදී නිරායාසයෙන් ම ඒ හා බැඳුනු සදාචාරයන් ද වෙනස් වන උදාහරණ ඕනෑ තරම් හමු වේ.. 

උදාහරණයක් ලෙස..තොටියා ගේ රැකියාව සැලකිය හැක.. ඒ වටා වූ සංස්කෘතිය එහෙම පිටින්ම පරිවර්තනය වී.. අද තොටියාගේ වෘත්තිය ක්‍රියාත්මක වන්නේ නැත.. ඒ වෙනුවට.. පාලම හරහා යන.. බස්, ත්‍රී රෝද රථ, බයිසිකල් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් එකී සංස්කෘතියේ දිගුවක් ලෙස පවතී..  එම සංස්කෘතිය තුළ.. එකල පැවත් සදාචාරයන් තවමත් වළංගු ද යන කාරණය විමසා බැලිය යුතුය..

ඉහත කී සංස්කෘතික වෙනස.. සිදුව ඇත්තේ භෞතික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිළිය. එහෙත් ඒ සමඟ, දැල්වී තිබූ සදාචාරයේ පහන් නිවී ගොස් ඇත්නම්..  අප ගමන් කර ඇත්තේ සංවර්ධනය දෙසට නොවන බව පැවසිය හැක.. එවැන්නකට ඊනීයා සංවර්ධනයක් යැයි කිව හැක. 


අපට අවැසි ඊනියා සංවර්ධනයක් නොව.. සැබෑ සංවර්ධනයක් නම්.. සදාචාරය රැක ගෙන සංස්කෘතිය වගා කරගෙන.. සංවර්ධනය කරා පිය නැගිය යුතුය.. 

භෞතික සංවර්ධනය යනු සංවර්ධනයේ.. එක් සාධකයක් පමණි.. 

Wednesday, February 17, 2016

කලමනාකරණය

බොහෝ දෙනා කතා කරන.. න්‍යායාත්මකව සිදු කරන ප්‍රායෝගිකව නොකරන කලමනාකරණයේ වෙසෙස් බොහෝය.. ව්‍යාපාර කලමනාකරණය, ජීවිත කලමනාකරණය, පිරිස් කලමනාකරණය, ආර්ථික කලමනාකරණය, කාල කලමනාකරණය.. ආදී වශයෙන් විවිධ වෙස් ගත් කලමනාකරණ විෂයයන් හා මාතෘකාවන් අපට හමුවේ..
ජීවිත කලමනාකරණය මේ අතර වැදගත්ම එකයැයි මා කියන්නේ .. ඒ මත අන් සියළුම දෑ තීරණය වන පසුබිමක් ඇති නිසා ය.. දිළින්දාගේ සිට මහා ධනවතා දක්වා දුක් විඳින්නේ.. නිසි කලමනාකරණයක් නොමැති වීම නිසා බව නිතර අසන්නට ලැබේ..
කලමනාකරණය යනු ප්‍රශ්නයක් විසඳීමයැයි මම කියමි..
ප්‍රශ්නය හඳුනාගෙන.. විකල්ප හඳුනාගෙන.. සුදුසුම විකල්පය තෝරාගෙන.. සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කිරීම.. යන සියල්ල කලමනාකරණයේ පියවරයන් වේ.. කලමනාකරණයේ අග්‍ර ඵලය වනුයේ.. ගුණාත්මක බවින් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ විසඳුමක් ප්‍රශ්නයට හිමි වීමයි..
ජීවිත කලමනාකරණයේ දී.. කළ යුතු .. නොකළ යුතු දෑ, ශක්තීන්.. දුර්වලතා, සහයෝග.. අභියෝග.. ආදී සියල්ල සැලකිල්ලට ගෙන විශ්ලේෂණයෙහි යෙදිය යුතුය... බැලූ බැල්මට මෙය අතිශය දුෂ්කර කාර්යයක් සේ පෙනුන ද.. මේ සියල්ල මනාව පරිහරණය කරන්නා.. ලබන ඉහළම දායාදය චිත්ත සංතෘප්තිය මිස අනෙකක් නොවේ..
සටන් කලා සියයක් දන්නා කෙනාට බැරි වූ දේ එක් සටන් කලාවක් දැන සිටි කෙනා කළ කතාවක් ඔබ අසා ඇතැයි සිතමි.. එය එසේ සිදු වූයේ.. ඉහත කී කලමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙසය.. බොහෝ විකල්ප තිබීම.. තෝරාගැනීම අකාර්යක්ෂම කරන්නක් බව මෙයින් පැහැදිලි වේ..
අපේ ගමට පැමිණෙන එක්තරා පුද්ගලයෙකි. ඔහු කලින් ගමේ පදිංචිව සිටි අයෙකි. කසාද බැඳ බිරිඳත් සමඟ අසල ගමක පදිංචි විය.. උපතින් දුප්පත් කෙනෙකි.. වැඩි දුර අධ්‍යාපනයක් ලබා නැත.. ඔහුගේ වත්මන් දින චරියාව නම් මගේ සිත ඇද බැඳ ගත්තේය..
ඔහු රැකියාව ලෙස කරන්නේ.. කුලී වැඩයි.. පොල් කැඩීම, තැඹිලි කැපීම, වැලි පැටවීම, ඉඩම් ශුද්ධ කිරීම ආදී ඕනෑම වැඩක් ඔහු ලවා සාධාරණ මිලකට කරගත හැක.. උදේ පාන්දර හය විතර වෙද්දී රැකියාව පිණිස ඔහු එන්නේ අපේ ගමට ය..
තමාට ලැබෙන වැඩ රාජකාරි..කිරීමට වෙලාව තමාට කැමති අයුරින් සකසා ගන්නා ඔහු හදිසි වැඩ සඳහා අත ගසන්නේ කලාතුරකිනි.. දවස පුරා එක වැඩක් නොකරන නිසා.. ඔහුට දවස් පඩියක් නොලැබෙන අතර.. කරන ලද වැඩ ප්‍රමාණය අනුව සාධාරණ මුදලක් ඔහුට ලැබේ.. බොහෝ විට වැඩ කරන කොහෙන් හෝ උදෑසන දිවා ආහාරයද ගන්නා ඔහු.. හැන්දෑවේ 3 වීමට ප්‍රථම සිය රාජකාරි නිම කොට නිවෙස බලා පිටත් වේ..
ඔහුගේ දිනක ඉලක්ක ගත මුදලක් තිබේ.. එය.. රුපියල් 1100 කි.. එම මුදල බිරිඳ වෙත භාර දෙන ඔහු.. යමක් ඉතිරි වුවහොත්.. එය තමා වෙත තබා ගන්නේ.. කලාතුරකින් හෝ ඉලක්කය සපුරා ගත නොහැකි දිනක් පැමිණියහොත් ඊට මුහුණදීම පිණිස ය.. එයට අමතරව.. ඔහුගේ ගානේ පොඩි පොඩි පිංකම් ද සිදු කරයි.. හරියට පාරක් නැති තැනකට පාරක් හදා දීම, පාරවල් වලට පොඩි පොඩි කොන්ක්‍රීට් දැමීම.. වැනි දෑ.. මේ අතර වෙයි.. මේවා කිරීමට වට පිටාවේ ද සහයෝගය ලැබෙන අතර. එදිනට ආදායමක් නොලැබුණාය කියා.. ඔහුගේ බිරිඳට දෙන මුදලේ වෙනසක් කරන්නේ නැත.. එය තමා සතු මුදලින් යොදවන ඔහු.. පින හා පවුල් ජීවිතය පටලවා නොගන්නා අයුරු සැබැවින්ම විශ්මය ජනක විය...
ඉරිදා දින ඔහුගේ විවේක දිනය වන අතර.. එදින තම දරුවන් හා එක්ව..විවේකීව ගත කිරීම ඔහු ගේ අරමුණ බව කීවත්.. එය කොයිතරම් දුරට කලමනාකරණය කරන ලද්දක්දැයි.. අසන්නට මා හට අවස්ථාවක් නොවීය.. මතු දිනයක අවස්ථාවක් ලදහොත්.. ඒ ගැන ද තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සිතන්නේ.. එබඳු කුඩා මිනිසෙකු නිසා..වුවද අපේ ජීවිත ගැන මොහොතක් සිතන්නට අපට ඉඩක් ලැබෙන එක බොහෝ සෙයින් වටිනා නිසා ය..
අප ජීවිතයේ ඉගෙන ගන්නා බොහෝ දෑ ඇතත්.. අපට වැදගත් වන්නේ.. ඉන් ඉතා කුඩා කොටසකි.. වැදගත්ම දේ ඒ කොටස කුමක්දැයි හැඳිනගැනීමයි..

Tuesday, February 16, 2016

දකුණු ආසියාතික ක්‍රීඩා ඉතිහාසය හා වත්මන් ජයග්‍රහණ...


වත්මන් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල තුළ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට.. අපි සමත් වීමු.. ඒ තුන්වැනි ස්ථානය සමඟ හොඳ පරතරයක් ද තබා ගනිමිනි. මේ අප රන් පදක්කම් අතර දෙවැනි තැන ගත්.. පළමු අවස්ථාව නොවේ.. කත්මන්ඩු නුවර පැවති පළමු තරඟාවලියේදී ද අප ලබාගත්තේ දෙවැනි ස්ථානයයි.. 91 ශ්‍රී ලංකාවේදී සහ 2005 ඉන්දියාවේදී ද අප එම ස්ථානය රැක ගත්තෙමු.. සමස්ථ රන් පදක්කම් අතර වැඩිම ප්‍රතිශතයක් හිමිව ඇත්තේ 91 ශ්‍රීලංකාවේ පැවති තරඟාවලියේ දී ය.
ඒ අතින් බලන කල.. මෙවර අමුතු දියුණුවක් නෑ වගේ ය.. එහෙත්.. පිටරටක දී (1993 බංගලිදේශයේදී රන් පදක්කම් 115 න් 20 ක් ලබා තෙවැනි තැන ලැබූ අවස්ථාව හැරුණු විට) .. විශේෂයෙන් ඉන්දියාව තුළ.. සාෆ් තරඟාවලියකදී.. අප ලබාගත් හොඳම ප්‍රතිඵලය මෙය වන්නේය..
කෙසේ වෙතත් වසර විසි පහකට පමණ පසුව.. අප ක්‍රීඩාවේ ඉදිරිගමනකට පය තබා ඇති බැවු පැහැදිලිය.. මෙය වටිනා තරඟාවලියක් වන්නේ එලෙසය.. උදම් වීමට දෙයක් නැත.. මේ ගැම්ම ඉදිරියටත් රැකගෙන ඉදිරියට යෑම විනා පම්පෝරි ගසමින් සිටීමෙන් නම් පලක් නොවනු ඇත.. 
ලෝකය වෙනස් කළ හැක.. ඒ සඳහා අප වෙනස් විය යුතුමය..

ජයග්‍රාහී.. කණ්ඩායමට අපගේ සුබ පැතුම්..!



Saturday, February 13, 2016

පැනයට පිළිතුර

එකමත් එක රටක රජෙක් ඇත රජ කරලා
ඇමැත්තොත් සිටී ඔහුගේ තනතුර ඔපලා
එහෙත් රජා අහන අමුතු පැන ගැන සිතලා
නිතරම දුක කියනවාලු දෙවියන් වැඳලා

රජුයි පැන විමසන්නේ - ඇමැත්තොයි දුක් වෙන්නේ

නිතරම වගෙ රජාගෙ පැන වැස්සට තෙමිලා
ඇමතියො ටික නාති සබන් නැතිවම හිසලා
මෙහෙම ගියොත් රස්සාවත් නැතිවෙයි සිතලා
පණ ගැහි ගැහි තමයි සැවොම එන්නේ දුවලා

කාගෙන් පැනය අහයිද - මට වැරදුණොත් බනියි ද

එදත් ඔන්න රජා පැනය විමසනු හැදුවා
ඇමතියො ටික මූණු හංග ගන්නට බැලුවා
රජ වාසල කවට තෙමේ මේ බව දුටුවා
හනිකට ඉදිරියට ඇවිත් පැන ගැන ඇසුවා

රජුට පුදුමත් හිතුණා - සිනාවක් මුව නැගුණා

නුවර පුරා ඉන්න කපුටො ගාන කීයද
කියල රජ තුමා විද්දේ ඔහුගෙ ඊය ද
හතලිස් පන් දහස් දෙසිය පනස් නවය ද
පොඩියක් ගෝලයො දම්මල' ගැනල' බලමුද

කවටය' මෙහෙම කියන්නේ - රජුටත් පුදුම හිතෙන්නේ

අඩු වුණොතින් ඊට වඩා නෑගම් ගොස් වේ
වැඩි වුණොත් ඉතිං නෑයෝ මෙහෙ ඇවිදින් වේ
නැතිනං මගෙ ගාණ ටක්කෙටම නිවැරදි වේ
ඔහොමයි කවටය එඩි මැද සබයෙහි කීවේ

වරද වූ බව දැනුණා - තෑගි බෝග ද පිදුණා

පැනයට ගැලපෙන විදිහට පිළිතුරු දෙන්න
ඕනෑ අපි කොයි කවුරුන් වුව දැනගන්න
තේරුමකුත් නෑ නොවැ බොරුවට බය වෙන්න
ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ද කන්න

තැනට සුදුසුම නුවණ - තමයි නිතරම සරණ

Thursday, February 11, 2016

බැරිදා විග්‍රහය ! මාධ්‍ය වේදියා


මාධ්‍ය වේදියා හෙවත්.. ජනමාධ්‍ය වේදියා  ගැන මේ දින වල නිතර කතා වෙනු ඇසේ.. 

වේදියා කී විට .. කිසියම් විෂය පථයක් ඔස්සේ සිය දැනුම පුබුදුවා ගත්.. එකී විෂයයෙහි යම් පරිචයක් ඇති.. තම විෂයයෙහි ආචාර ධර්ම මනාව හඳුනන කෙනෙකු හැඳින්වෙන බව මගේ අදහසයි. 

සූප වේදියා ගේ විෂයය .. සූප ශාස්ත්‍රය වන පරිදි ම ජනමාධ්‍ය වේදියා ගේ විෂයය.. ජනමාධ්‍යය වන්නේය.. පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිණිය අද රටේ ප්‍රධානතම ජනමාධ්‍ය වන අතර.. එකී මාධ්‍යයන්හී තම වෘත්තීමය කාර්යයන්හී නියැලෙන්නෝ ජනමාධ්‍යවේදීන් ලෙස හැඳින්වේ.. 



කර්තෲ, ලේඛක, ඡායාරූප ශිල්පී, නිවේදක, ශබ්ද පරිපාලක, වැඩසටහන් සම්පාදක.. ආදී වශයෙන් අති විශාල පරාසයක විහිද ගිය පිරිසක් මෙම ජනමාධ්‍යවේදී.. කුලකයට අයත් වුවද, නිවේදකයා හා ලේඛකයා සෘජුවම ජනයා හා සම්බන්ධ වේ.. 

කරන කාර්යය කුමක් වුවද, තම වෘත්තියට අදාළ ආචාර ධර්මයන් ආරක්ෂා කොට සිය වෘත්තීය ගරුත්වය රැක ගැනීම කොයි කාගේත් වගකීම වේ. එහෙත් අද සිටිනා බහුතරයක් ජන සන්නිවේදකයින්.. වෘත්තීය ගරුත්වය ගැන වගේ වගක් නොමැතිව.. කවුරුන් හෝ හදා දෙන රාමුවක් ඔස්සේ නිදැල්ලේ සැරි සරණ බව කිව යුතුමය.. 

සිංහල බසෙහි ඇති ගුණාත්මක බව කෙළෙසමින්.. ලියන.. කියන.. කියවන ඔවුහූ..කියන්නට පටන් ගන්නේ කුමක්ද.. කියන්නේ කුමක් ද යන්න.. තමාවත් නොදන්නා ලෙසින් ඔහේ වචන විසි කරති.. තමා ගේ සීමාව සහ අනෙකාගේ පුද්ගලිකත්වයේ සීමාව නොදන්නා මොවුන් වැඩිපුරම කරන්නේ අනුන්ගේ කුණුකන්දල් ඇවිස්සීම ය.. 

තමා ගේ රාජකාරිය කුමක් ද යන්නත්.. එය සැම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සිදු කළ යුත්තේ කෙසේද යන්නත්.. දැනගත යුත්තේ මාධ්‍ය වේදියා පමණක් නොවේ. අප හැම දෙනාට ම ඒ වගකීම ඇත.. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙස හැඳින්වෙන ජනමාධ්‍ය.. අපක්ෂපාතීව, සාධාරණව, සංවේදීව කටයුතු කිරීම.. ජනතා ආකල්ප දියුණු කිරීමෙහිලා ඉතා වැදගත් වේ.. පුවතක් ඇති පමණින්.. එය රසවත්ව විකිණෙන පමණින් ඉදිරිපත් නොකොට.. එහි ගුණ අගුන විමසා බලා ඉදිරිපත් කිරීම ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ගේ වගකීමයි.

ජනමාධ්‍ය වේදීන්ට දේශනා පැවැත්වීම අගමැතිවරයාගේ කාර්යය නොවිය යුතු බව මහිම් මෙන්ඩිස් මහතා පැවසුවේය.. අගමැති ලෙසින් එසේ කරත්දී.. ඔහු අයතා බලපෑම් කරන බවක් හැඟෙන බැවින්.. එය එසේ නොවිය යුතු බව මගේ ද අදහසයි.. 

එහෙත් ආකල්පමය වශයෙන් පරිහාණියට යන රට ගොඩ ගැනීමට සිටින ශක්තිමත්ම කණ්ඩායමට යළිත්.. ප්‍රජාතන්ත්‍රයේ මුර බල්ලා වීමට අවස්ථාවක් ඇත.. ඒ සඳහා තමාගේ වගකීම තමා වටහාගෙන කටයුතු කළ යුතුය.. 

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ පක්ෂවාදය මතුකෙරෙන කාරණාවලදී වඩාත් විමසුම් ඇසින් කටයුතු කරමින් ද, භාෂාව හැසිරවීමේදී සහ සංස්කෘතික කාරනා වලදී වඩාත් සංයමයකින් කටයුතු කරමින් ද ජාතික, ආගමික සංහිඳියාව පිළිබඳ කාරණා වලදි.. වඩාත් ප්‍රායෝගිකව දැනුම බෙදා දෙමින් ද සිය ආචාර ධර්ම මනාව ආරක්ෂා කර ගනිමින් ද කටයුතු කරන්නට ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදියාට හැකියාව ලැබේවා කියා පතමින්.. මගේ සටහන නවතමි..





Thursday, February 4, 2016

ගෙදර පුංචි හුරතලා..

ගෙදර පුංචි හුරතලා
සණ්ඩු කළත් දඟ වෙලා
මාත් එක්ක හුරතලේට හිනාවෙන්නෙ තාම
කාට නැතත් පුතේ නුඹව වටිනව මට බෝම
පුතා දෙසම බල බලා
තරුත් ඉන්නෙ නැවතිලා
නිවි නිවි දිලිසෙන්නෙ මොකද එ තරු හරිම සෝකෙන්
පණිවුඩ හෙම තියෙනවාද ගෙනාව සුර ලෝකෙන්
ටික ටික නුඹ ලොකු වෙලා
සිප් ගුණ මල් දම් නෙළා
මිනිසත් කම් නිබඳ හැඳින පෙරටම යා නම්
නිවටුන් දෙස නොබලන් එය හරි අවදානම්
රට දැය දෙක සරසලා
නුඹ එනතුරු මඟ බලා
මං ඉන්නම් කල්ප කලක් වුව ඉවසාගෙන
පුළුවන්නම් හිනා වෙයන් මාව බදාගෙන

Wednesday, January 27, 2016

බැරිදා විග්‍රහය ! හෙළ බොදු සටනේ ඥාණසාර ලකුණ

හෙළ - බොදු සටන කී පමණින්ම .. එහි කිසියම් නොගැලපීමක් ද එක් වන බව ද දකිමින් මෙම සටහන මේ මැයෙන් ම ආරම්භ කරන්නේ .. මේ මොහොතේ එසේ කළ යුතුයැයි සිතෙන නිසා ය.
හෙළ - යනු වෙන් අදහස් වන්නේ සිංහල දේශයට අයත් තැනැත්තා යන්න මගේ අදහස වුවත්.. එය "සිංහල බස කතා කරන්නා" දක්වා පටු විය හැක..
බොදු - කීවාම මූලික වශයෙන් එයින් බෞද්ධයා නිරූපනය වන අතර අවැසි නම් සැබෑ බෞද්ධයා, නමට බෞද්ධයා ආදී වශයෙන් ප්‍රබේධ කර ගත හැක..
හෙළ බොදු - කීවොත්.. ඉහත කී කුලක දෙකටම අයත් කුලකය (හෙවත් කුලක දෙකෙහි ඡේදනය ) නිරූපණය වන අතර එකී ඛණ්ඩනය නිසැක වශයෙන් ම අපගේ ප්‍රමාණාත්මක පිරිස් බලය පිරිහෙන කෙළියක් බව පැහැදිලිය..
හෙළයා වශයෙන් 100% ක් සිටින අප හෙළ බොදු වී 65% දක්වා පල්ලම් බසිමු.. අප නිතරම කල්පනා කරන්නේ අපේ 65% වත් රැක ගන්නා විදිහ ගැන ය. ඇත්තෙන් ම එයට අති විශාල තර්ජනයක් තිබේ.. වෙනත් ආගම් කෙරෙහි විශ්වාස තබන පිරිස් වල වර්ගයා බෝ කිරීම.. අපට වඩා ඉදිරියෙන් තිබෙන නිසා එය සිදු වන බව අපේ අපවත් වී වදාළ සෝම හිමියන්ගේ ද අදහස වූ බව ඔබටද මතක ඇතැයි සිතමි.
එහෙත්.. වර්ගයා බෝ කිරීමේ අඩුවටත් වඩා.. ධර්මය බෝ කිරීමේ අඩුව නිසා හෙවත්.. ජනතාව ධර්මයෙන් පිරිහීම නිසා.. සැබෑ බොදුණු පිරිවර හීන වන බව ද උන් වහන්සේ දෙසූ බව.. අද රැල්ලේ බොදුණුවන්ට වැටහී නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. ඥාණසාර හිමි සහ උන් වහන්සේ ගේ අනුගාමිකයන් පෙනී සිටින්නේ ප්‍රශ්නයෙන් ඔවුන් රිසි කොටසකට පමණක් බව මා කියන්නේ ඒ නිසාය. ඒ පෙනී සිටීම ද.. ඉංගිරිසි බෙහෙත මෙන් උඩින් ලෙඩේ හොඳ කළා ට.. රෝග නිධානය නසන්නේ නැත. හැබෑ බෙහෙත සොයන්නට නම්.. සැබෑ මිනිසුන් ඉස්මතු විය යුතුය.. ආගමික නායකයින්.. උගතුන්.. බුද්ධිමතුන් .. ඇතුළු කොයි කවුරුත්.. ආකල්පමය වශයෙන් කුහක නොවී.. අවංකව ම ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව නිර්මාණය කළ යුතුය..
පසු ගිය යුගයේ රාජ්‍ය අනුග්‍රහය රහසේ ලැබූ බව පැවසෙන ඥාණසාර හිමි ගේ භූමිකාව ඉතා වැදගත් භූමිකාවක් වන්නේ .. එකී භූමිකාව නොවන්නට හෙළ බොදු කුලකය මේ වන විට හාන්සි වන තත්වයක් උදා විය හැකිව තිබූ නිසාය. විසෙන් විස නැසීමේ ප්‍රයෝගය පසුගිය රජය සමයේ හෙළ-බොදු කුලකයට අස්වැසිල්ලක් ගෙන ආවේය.. අන්තවාදී දේශපාලකයන් එක් පසකින් හෙළ -බොදු කුලකය සතු සම්පත් උදුරා ගන්නා විට.. ඥාණසාර හිමි ඇතුළු හෙළ-බොදු සටන් කරුවෝ.. ඒවාට එරෙහිව හැකි පමණින් සටන් කළෝය.. එහෙත් නීතියට .. ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැත..
එකලට එම ක්‍රමය හරි ගියාට නීතියේ දෙවඟන පණගහන මේ කාලයේ.. ඒවා හරියන්නේ නැත.. ඥාණසාර හිමි ඇතුළු පිරිසගේ සටනට මේ දිනවල හරි හමං සටන් පාඨයක් ඇත්තේවත් නැති තරම්ය.. අතුරුදන් වූ එක්නැලිගොඩ මහතා සම්බන්ධව ජරා කතා කියා හත්පොලේ ගාගත්තේ ඒ නිසා ය.. මේ විනාශ කරන්නේ අර හෙළ - බොදු කුලකයට යන්තම් හරි ඉතිරිව තිබූ ගෞරවයයි.. බෞද්ධ යන්නෙහි එක් තේරුමක් ලෙස බුද්ධිමත් යන්න පවතින බව මම අසා ඇත්තෙමි.. ඉතින්.. අප තවමත් බෞද්ධ යැයි කියා රෙදි ඇඳගෙන කිව හැකිදැයි.. සිතා බැලිය යුතුමය..
රට තුළ අවශ්‍ය ව්‍යවස්ථා, නීති, රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසුව වත්.. හැම දෙනාටම එක ලෙස සාධාරණව සලකන නීති පද්ධතියක් ඇති කළ හැකි නම්.. එකී නීතියට ගරු කරන.. එහි සාරධර්ම රකින සමාජයක් බිහි කළ හැකි නම්.. මේ සමාජයට තවත් ඥාණසාර හිමි වරු ඕනෑ ම නැත. හෙළ-බොදු සටනක් ඕනෑ ද නැත..

Tuesday, January 26, 2016

ඔබ දනී..

            
මොහොතක් ලබා සෙනේ ඔය රුවන්හදවතින්
මැරුණත් කමක් නැතේ නොම මැරීඉමි හිතින්
අහසත් සිනා නොවී පිණි සලයිඇගෙ නෙතින්
මෙහෙයක් මටත් කියන් ඉටු කරන්නට ඉතින්
  
කල් යල් බලා එසැණින් කළ යුතුයිකරන දේ
දුල් නිල් වළා අතරත් සැඟව යයිඑළි සඳේ
බොල් ගල් තලා මතදිත් නොම දැනෙයිඇති තදේ
මල් මල් වෙලා වැදියන් වදින ගල් හෙම ළදේ
  
පාවෙන පුළුන් රොදක් ඉගිලුණත්වැසි සොයා
යාවෙන කැළුම් නෙතේ නිති රැඳෙයිදුර නොයා
ගෑවෙන දුරක් ළඟින් නොසිටියත්නිති ඔයා
නෑවෙන තරම් සෙනේ ඔබ දනීඔබෙ කියා
  

Thursday, January 7, 2016

බැරිදා විග්‍රහය ! අවුරුද්දෙ සැමරුම

මෛත්‍රී ජනපති වෙලා අවුරුද්දක්ය. ඒකට පදවි ප්‍රාප්තිය නොකියා.. ඉන්ට කියා මෛත්‍රී කියා ඇත්තේ.. ඒ පදවිය දරලා කොරපු දේවල් ගැන එතුමාට සෑහීමක් නැති නිසා වෙන්ටත් පුළුවන්ය. නැත්තං ඒ කියමනේ ඒ හැටි වරදක් මට නං පේන්නේ නෑ ය. කොහොම උනත්.. හෙට දානයක් දෙන්ට වටිනවාය. ඒ අප්පච්චිගේ අවුරුද්දේ දානය නිසාය. ඒත් අප්පච්චි ආයෙත් උට්ඨානය උන නිසා ඒකත් ඕන නෑ ය. කොහොම උනත් මගේ අදහසට අනුව නම්.. මේකේ සමරන්ට අහවල් එකක් නෑ ය.
සැමරීම කෙසේ වෙතත්.. අතන මෙතන කොතන උනත් කතා කෙරෙන්නේ අප්පච්චිගේ මරණයේ අයිතිකරුවා ගැන ය. ඔළුව මගේ යැයි ජවිපෙ කියයි.. කඳ බඩ මගේ යැයි එජාපය කියයි.. දෑත් දෙපා ආදී වශයෙන් අප්පච්චිගේ ශ්‍රී දේහයේ අයිතිය ඉල්ලා කට්ටිය එක පොරයකය.. චන්ද්‍රිකා, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන ඒ අතර ප්‍රධානය.. මං සියඹලා ගෙනාවෙම නැද්දැයි අහන්නට අප සෝභිත හිමියන් සුජීවත්ව නොසිටි එක එක අතකින් හොඳා ය.. අප්පච්චි වේවා ප්‍රභාකරන් වේවා.. මළ දා.. සතුටු වීම තුඡ්ඡ කමක්ය.. ඒත් මළ එකා මළ විදියට ඉන්ට ඕනෑ ය. නොමළ ගානට කොකං පාන්නට ආ විට ආයෙ ආයෙත් මරන්නට වෙනවා ය. අපට ඕනෑ.. මළ කුණු අත හැර.. දියුණුවේ රන් දොරටුව සොයන්නට ය. ගැලරියේ මොනවා කීවත්.. හොරු අල්ලනවාට වඩා වටිනා වැඩ ඕනෑ තරම් ය.. ජාතික ණය ප්‍රශ්නය.. වකුගඩු, ඩෙංගු වැනි මාරාන්තික රෝග, තේ, රබර් මිළ අඩු වීමේ ප්‍රශ්නය ආදී දැවැන්ත ප්‍රශ්න රාශියක් විසඳුම් නැතුව තියෙද්දී.. මෛත්‍රී තනපටයක් ගැන කතා කොරන්ට ගොස් ඇණ හොන්ඩර ගාන්ට ගත්තේය. එහෙම ඇණ ගත්තා කියා අපි දොස් කියන්නේ තරහට නොවේ ය.. ආදරේට ය..

මෛත්‍රී, රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පත් වූ දා සිටම ගහන්නේ ගේම් ය. සමහර විට ඒ ඔවුන්ට ඕන නිසාම නොවන්නට පුළුවන්ය.. ඔවුන්ට වැඩ කරන්ට වී ඇත්තේ නොම්මර එකේ ගේම් කාරයින් සමඟය.. ඇත්ත කතාව නම් ජනතාව රනිල්ට හා මෛත්‍රී ට බලය දුන්නේ නෑ ය.. කළේ .. මහින්ද ගේ බලය ඉවත් කිරීම පමණක්ය.. මෛත්‍රී ට අවැසි නම්.. බලය බලෙන් ගන්නට පුළුවන් ය.. ඒත් හෘදසාක්ෂියට ගරු කරන බවක් පෙනෙන... ප්‍රජාතන්ත්‍රවාදයත් පොඩ්ඩක් හෝ රකින්ට ඕනෑය කියා හිතන බවක් පෙනෙන මේ නායකයො දෙන්නට තිබුණේ විකල්ප දෙකක් වන්නේය.. ඒ ඉන්න ගෝතයො ටිකත් එක්ක ඩීල් දමා.. ගේම් ගසා පුළුවං හැටියට කරගෙන යාම හා මහින්දට ම ආපහු බාර දී වළ පල්ලට යාම ය.. ඉතිං මේගොල්ලෝ ඩීල්/ගේම් තෝරා ගත්තෝ ‍ය..
රටේ ජාතික ආදායමෙන් 72% ක් ණය ගෙවන්ට තියෙනකොට.. ඉතුරු 28 න් මක් කොරන්ටද කියලා අහන් නැතුව බෑ ය. රනිල්ට මේකට විසඳුමක් තියෙන බවක් තාම පේන්නට නෑ ය. ඒත් අපට රනිල් හැර විකල්පෙකුත් නෑ ය. ජ්‍යෝතිෂ විශාරද සේන අම්බලම්ගොඩ මහත්තයා කියන්නේ.. 2017 දී රට ස්ථාවර වන බව ය. මෙච්චර ඉවසපු එකේ තව අවුරුදු එක හමාරක් දෙකක් අපට ඒ හැටි කජ්ජක් නොවේ ය. තවම ප්‍රජාතන්ත්‍රවාදය අපට හුරු නෑ ය. නිවහල් බව ද එසේම ය.. අපට හුරු හිඟා කෑම ය. වහල් බව ය.. යටහත් බව ය. ඒ නිසා.. මෛත්‍රී පඹයෙක් ය. නිවටයෙක් ය.
ඉතිහාසයේ පම්පෝරිය හැර අපට දැං ඇත්තේ.. මොළේ තියෙන මිනිස්සු ටික දෙනෙක් පමණක් ය. ඒ ටික දෙනා විස්මිත නිමැවුම් කරන්නෝය.. අනික් අයගෙන් වැඩි හරිය.. කෑමට යමක් හොයා ගැන්මට හෙවත් දිවිසරි කිරීමට.. රස්සා කරන්නෝය.. අපරාදෙ කියන්නෙ මත්පැන්, දුම්වැටි..බොරුව, පාදඩ කම හා කුහක කම අපිත් එක්ක කල්ලි ගැසී ඇති ආකාරය පුදුම සහගතය..
මිනිසා හදා රට හැදිය යුතු බව අපවත් වී වදාළ මහා නායක හිමිනමක් දෙසා ඇති බව මට මතක ය. කතාව ඇත්තය.. එහෙත්.. මිනිසා හදන්නේ කවුදැයි යන්න තවමත් ප්‍රශ්නයක් ය.