Friday, November 27, 2015

කාව්‍ය චතුෂ්කය

පසුගිය පොහෝ දින සේන අම්බලම්ගොඩ ගුරු පියාණන් බැහැ දැකීමට ගිය අප හට එතුමාගෙන් වටිනා කියන පාඩමක් උගත හැකි විය. ඒ කාව්‍ය චතුස්කය නම් දුෂ්කර බන්ධනයක් ගැනයි. ඒ පිළිබඳව කිසිවෙකු මුහුණු පොතෙහි විමසා සිටි බවත් .. එයට පිළිතුරු දීමට තමාට අවස්ථාවක් නැති නිසා එයට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමින් එකී පාඩම අප වෙත ඉදිරිපත් කළ නිසා මෙම සටහන තබන්නට සිතුවෙමි..

පළමුව ඉහත රූපයේ දැක්වෙන ලෙස අංකනය කරගත යුතුය. තැඹිලි පාටින් දැක්වෙන කොටු වල එනම් 1,8 හා 16 කොටු වල .. යෙදෙන්නේ එකම අක්ෂරයකි. එම අක්ෂරය අපාය අක්ෂරයක් විය යුතුය.. කහ පාටින් දැක්වෙන කොටු වල එනම් 4 හා 12 කොටු වල..යෙදෙන්නේ එකම අක්ෂරයකි.. වෙනස් පද වල මෙම අක්ෂරය වෙනස් ව යොදා ගත හැක. ඔරලෝසුවේ කටු කැරකෙන අතට කියැවීමෙන් සම්පූර්ණ පැදිය කියැවිය හැක.මේ කාව්‍ය චතුස්කය මට මතක තියෙන විදිහයි.. වැරදි ඇතොත් පෙන්වා දෙන මෙන් එදා මා හා පාඩම උගත්.. සම්පත් සුදුසිංහ සහ සුසන්ත දන්දෙනිය ගමගේ සොයුරන්ගෙන් ඉල්ලා සිටිමි. මේ මා ගත් උත්සාහයකි.  

ම ගෙ හි තේ ත නි ව ම ද ස අ තේ පැ ති ර ම 
ම ර බි යක් ති බු ණ ම සි හි න යක් වි ල ස ම 
ම ට එ පා ත නි ක ම කි ම අ පා දු ක මෙ ..ම 
ම ත ක හා හු රු ක ම ය ළි ලෙ හා ග මි ම ම

Wednesday, November 18, 2015

බැරි දා විග්‍රහය!"ජනවාරි අට"

සුප්‍රකට "ජනවාරි අට" පෙරැළියෙන් පසු, දස මසකට වඩා මඳක් ගෙවී ගොස් අවසන් ය.. අලුත් ජනපති.. අලුත් ආණ්ඩුව ගැන මැසිවිලි බොහෝ ය. ඒවා අසාධාරණ ද නොවේ. ඒවාට ආණ්ඩුව පැත්තෙන් පිළිතුරු ද ඇත. ඒවා ද අසාධාරණ නොවේ. එසේ නම්.. අසාධාරණ වන්නේ කුමක් ද? අප සෙවිය යුත්තේ ඒ ගැන ය.
බලාපොරොත්තු අසාධාරණය.. 
"මුං" වපුරා.. "තල" අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිද? 

සමාජය අසාධාරණය.. 
දේශපාලකයින් බහුතරය විසින් අලුත් ජනපති හා අලුත් ආණ්ඩුව පිළිගත්ත ද, බහුතර නිළධාරීන්, බහුතර ව්‍යවසායකයින් මෙන්ම සැළකිය යුතු ජනතාවක් ද දකින්නේ අප්පොච්චි සිහිනයයි.

ජාත්‍යන්තරය අසාධාරණය..
පසුගිය රජය ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි දැක්වූ අදූරදර්ශී ප්‍රතිපත්ති වෙනුවට පැහැදිලි ලෙස ම බොහෝ ප්‍රධාන රාජ්‍ය සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන මොහොතක ජාත්‍යන්තරය තුළ වර්ධනය වන යුධ වාතාවරණය අප රට කෙරෙහි කරන බලපෑම අයහපත් එකක් බව පැහැදිලිය..

විපක්ෂය අසාධාරණය..
රටේ දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී.. තම තමන්ගේ හිතවතුන් හට නීතිය හමුවේ ඇති ප්‍රශ්න විසඳාගැනීම ගැන අවධානය යොමුකිරීමත්.. සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට ආණ්ඩුව හා උරෙනුර ගැටී නොසිටීමත් යහපත් දෙයක් නොවේ..

ආණ්ඩුව අසාධාරණය..
පළමුව සාධනීය ක්‍රියාත්මක වීමක් නැති අයවැයක් ගෙනාවේය. දෙවනුව.. හොරුන්ට ඇමතිකම් දුන්නේය.. ඊළඟට කම්බා හොරුන්ට සුදු හුණු ගෑවේය.. පොලීසිය ලවා දරුවන්ට ගැහුවේය.

කොහොම උනත්..
බහුතර ජනතාව ජීවත් වන්නේ ඉඡ්ඡා භංගත්වයෙන් බව සැබෑවකි.. විශේෂයෙන් පොදු ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග රැසක් බරපතළ ලෙස අර්බුදයට ලක්ව ඇත. ඒ අතර තේ සහ රබර් ප්‍රමුඛ ය. සුළු හා මධ්‍ය පරිමාණ තේ ගොවියා අන්ත අසරණ වී ඇත.. මිළ ඉතා ප්‍රබල කඩා වැටීමකට ලක්ව ඇති අතර කාලගුණයේ ගැටළු නිසා.. අස්වැන්න ද අඩු වී ඇත.. රබර් වගාවටත් එම සෙතේ ම ය. මේවාට මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් මිස.. කෙටි කාලීන විසඳුම් ඇතැයි මට නම් නොසිතේ.. විශේෂයෙන් කසළ තේ ජාවාරම් කරුවන් නිසා ලංකාවේ තේ වල ගුණාත්මක බවට සිදුවන හානිය වැළැක්වීම සඳහා වහා පියවර ගත යුත්තේ.. තවමත්.. තේ යනු ප්‍රධාන අපනයන භෝගයක් වන නිසා සහ.. ඒ වෙනුවෙන් ඇති යටිතල පහසුකම් සහ තාක්ෂණය අපතේ නොහැරිය යුතු නිසාය..
එළවලු පට්ට ගණං ය. අපි කන රතු කැකුළු නම්.. ජනවාරියේ 95ට තිබුණු අතර දැන් 60 කට විතර ගත හැකිය.. ඒත් සමස්ථයක් ලෙස අනෙක් සහල් වර්ග මිළ ඉහළ ගොස් ඇත.. අපේ ජනතාවගේ ප්‍රධාන ආහරය වන පරිප්පු 200ට ගිය ද.. අපි පරිප්පු නොකා අරින්නේ නැත.

අපට "ජනවාරි අට" පෙරැළිය ගැන සතුටු විය හැකි ද?
ඇත්තෙන්ම පුළුවනි.. ජීවිත අවධානමකින් තොරව.. ආණ්ඩු විරෝධී ලිපියක් ලියන්නට වුවද... අපට අයිතියක් ඇති බවට වූ විශ්වාසයක් අපට ඇත..
(ඔවු ගෙදරින් එළියට බහිද්දී ආපහු එන්ට ලැබෙයි කියා විශ්වාසයක් නොවූ යුගයක් ද අපට තිබුණි. ඒ යුගය අවසන් කළ රණවිරුවන්ට, ආරක්ෂක ලේකම් තුමාට සහ එවක ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට නිතැතින්ම ප්‍රණාමය හිමිවෙයි)

නිදහසේ නාමයෙන් අප එක් පියවරක් ඉදිරියට ගොස් ඇති බවක් දැනෙන බව කිවයුතුය..

Wednesday, November 11, 2015

සෝභිත සමිඳුනි .. නිවන් සුව!

            
සොයමින් නිවන් මඟ අතහැර මඟසැපවත්
දහමින් උගත් බෙදමින් දම් රස සරුවත්
නැගිටිය යුතු තැනදි නොතැකූ තමදිවි වත්
හිමියනි අපයි අසරණ නුඹ වියඅපවත්
  
සැම විට පතළ කළ කරුණා සෙනේසිත
උස් මිටි කමක් කළු සුදු භේදයක්නැත
හිමියනි නුඹ පැතුව යහපාලනේමත
හෙළ බොදු ලකුණ වෙන කාටත් වඩාඇත
  
නිසැකව මතු හෙළයෙ දම් මල් පිපේවා
යහ ගුණ දහම මිනිසත්කම් රැකේවා
නුඹ පැතු ලොව ම අප හට මතු ලැබේවා
නිබඳව මතු නිවන් මඟ මුණගැසේවා