Tuesday, September 22, 2015

බැරිදා විග්‍රහය! සාහිත්‍ය මාසයේ මගේ සතුට

මේ සාහිත්‍ය මාසයය..
මං.. බලන්ට ගිය.. ප්‍රදර්ශනයක් නෑ ය.. ඒත්.. විජය මාපලාන කවියා ට පින් සිදු වෙන්ට . කවි පොතක් මට ලැබුණේ තැපෑලෙන් නොමිලේ ම ය.. ඒ හැර මා මේ මාසයේ මිළ දී ගත් පොත් දෙකක් ය(අභ්‍යාස පොත් හැර) .. ඒ දරුවන්ගේ පාසලේ පුස්තකාලයට පිරිනැමීමට ය.. පොත් දෙක ම.. සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ය.. දෙකම ගුණසේන ප්‍රකාශන ය. දෙක ම පරිවර්තන ය. එකක්.. Thambaya Takes a ride ය. අනෙක The Seven Lives ය.
කට්ටිය ම පොත් පෙරලද්දි.. අලුත් පොත් නැති මං ගැන මට දුක සිතුණා වගේ ය.. ඉතිං මං ඊයේ ප්‍රශ්න දෙකක් ඇහුවේ ඒකය.
ඒ..
පොත් බලන්නෙ හොඳ මිනිස්සු ද?
පොත් බලන මිනිස්සු හොඳ ද?
කියා ය..
ඒකට උත්තර දීපු හුඟක් ඈයො කීවේ.. පොත් බලන එකෙයි.. හොඳ කමෙයි.. ඒ හැටි සම්බන්ධයක් නැති බව ය. ඒත් මූණු පොතේ ශෙයාර් වන පෝස්ටු වලින් එහෙම බවක් පේනවා අඩු ය.
එක් කෙනෙක්.. තමන් ගත්තු පොත් ගැන.. ඩිස්කවුන්ට් ගැන.. ගිය වියදම ගැන.. ලොකුවැයින් පොර ටෝක් දෙන අතරෙ.. කමෙන්ටු .. වලට එසැණින් පිළිතුරු දීලා තිබුණෙ පොත් ගැන තිබුණු උනන්දුව ට ම වෙන්ටෝනෑ ය.. ඒත් එක කොමෙන්ටුවකින්.. ඒ කොමෙන්ටු සැෂන් එක නිමා වෙලා තිබුණේ පුදුම විදිහට ය.. ඒ කොමෙන්ටුවෙන් අහලා තිබුණෙ ප්‍රශ්නයක් ය..
ඒ..
ඔයා කියවලා ඉවර වෙලා ඔය පොත් ටික අපටත් කියවන්ට ශෙයාර් කරගන්න කැමතිද?
කියා ය...
කොහොමින් කොහොම හරි.. අද මට මතක් උනේ.. අත නොතියපු පොත්.. අට්ටියක් මා සතුව ත් තියෙන වග ය. ඒක දිග කතාවක් ය.. ඒත් ඒක මගේ වරදකින් ම මට ලැබුණු තෑග්ගක් නිසා.. කියන්ට ම ඕනෑ ය..
මීට අවුරුද්දකට විතර (සමහර විට ඊටත් වැඩිය ඇති ය) ඉස්සර සඳස් කවි මඩුව කියලා කවි තරඟයක් තිබුණේ.. Jani Wasanthi සොයුරිය ගේ මූලිකත්වයෙන් ය..
ඔන්න ඒකෙ.. මාත්.. විනිසුරුවෙක් විදිහට උන්නා ය. ඉතිං.. අපි එක දෙක තුන එහෙමත් තේරුවා ය. ජානි ට.. ඕනෑ උනේ.. කට්ටියට.. ග්‍රෑන්ඩ් තෑගි ටිකක් .. හෙවත් පොත් ටිකක් දෙන්ට ය. ජානි හිටියේ නොරට නිසා.. ඒ කෙරුවාවත් මට බාර උනේ.. අපි දෙන්නගෙ ඇති උනු පිට් එක එතරම්ම වූ නිසාටත් වඩා.. එහෙං කියද්දි මෙහෙං බාර ගත්තු නිසා ය.
ජානි පොත් ටික ගන්ට මට සල්ලිත් එවුවා ය. ඒ රුපියල් වලිං ම දහ දාහක් ය.. විවේකෙ කොච්චර අඩු උනත්.. මාත් සරසවියට.. විජිත යාපා එකට.. එහෙම ගිහිං.. හොඳවැයිං පොත් ටිකක් ගත්තේ.. කස්ටියට දෙන්ට හිතාන ය.. රුපියල් තුන්දාහකට ටිකක් අඩුවෙන් වියදම යන්ට ඇති ය. තවත් පොත් ටිකක් ගන්ට තිබුණත් ඒ ටික ගන්ට ඉස්පාසුවක් ආවේ ම නැති ය. ඒ අතර සහතික පතක් ද ගහන්නට හිතා.. ඒකක් ද අමාරුවෙන් මං විහින් ම ඩිසයින් කළේ ඇඟේ අමාරුවට නොවේ ය. අන්තිමේ කාලය වේගයෙන් ගියේ ය. ජානි මාත් එක්ක තිබ්බ පිට් එකට මොනා උනාද දන්නේ නැති ය. ඇගේ දහදාහට මං කෙලියා කියා හිතුවාද දන්නෙත් නැති ය. එක් දිනක පමාව ට සමාවත් ඉල්ලාගෙන ඉතුරු කොටහ කරන්නට සැරසෙද්දි ජානි කිවුවෙ දැං වැඩක් නෑ කියා ය.
මගේ ඔළුවට පොල්ලෙන් ගැහුවා නම් ඊට වඩා සැප ය. එහෙනං ඉතිං.. එකවුන්ට් නොම්මරේ දෙන්ට මං සල්ලි ටික දාන්නම් කියා මං කීවේ වෙන කියන්ට දෙයක් නැති නිසා ය. ඊටත් කාලයකට පසු.. දැන් මාස කීපයකට පෙර.. මට එකවුන්ට් නොම්මරයක් ඇය දුන්නා ය. මගේ බිරිඳ ට කියා.. දහදාහම තැන්පත් කළේ.. ඒ සල්ලි දෙනකං මට ඉස්පාසුවක් නොතිබුණු නිසා ය. සල්ලි දාලා .. දාපු බව කිවුවම.. ජානි කිවුවේ.. ඒ සල්ලි දුන්නේ.. මූණු පොතේ .. මොකද්ද සත්කාර්යයකට බව ය.. ඒ පාර.. මට දැනුණේ මගේ ඔලුව උඩිං ටැක්ටරයක් ගියා වගේ ය.
බැරි මඟුල් බාර ගන්නවාටත්.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවාටත්.. මේවා හොඳ පාඩං ය..ඒත්..අන්තිමේ එක හොඳක් උනේ ය..
එදා ගත්තු පොත් ටික මගේ ය. ඒ ටික මට අගේ ය.. දැං.. ඒ ලිස්ට් එක මට දැම්මෑකි ය.

Friday, September 18, 2015

නවක ගායිකාවක ගේ ගුණදම්

මගේ දුව ට.. පහුගිය සැප්තැම්බර් හය වෙනිදට.. අවුරුදු 8ක් සම්පූර්ණ උනා.. එයා ඉගෙන ගන්නෙ තුන්වැනි වසරෙ නෙ.. ඉතිං.. දැං.. ටික ටික තේරෙනවා.. ඉල්ලීම් එහෙම වැඩි වෙනවා.. උපන්දිනේ සමරන්ට යාළුවො දෙතුන් දෙනෙක්ටත් එන්ට කියන්ට ඕනි කියලා ඉල්ලීමක් ඉදිරිපත් උනා.. ඉල්ලීම දිහා සාධාරණව බලපු මගේ බිරින්දැ.. ඒකට එකඟ උනත්.. පවුලෙ කට්ටිය විතරක් සහභාගි වෙන සාම්ප්‍රදායික උපන්දින සාදයට .. මේ දරුවොත් එකතු උනොත්.. දෙගොල්ලන්ම බලාපොරොත්තු වන සුන්දර විනෝදය අහිමි වෙන්ට පුළුවං කියලා හිතපු මං යෝජනා කළා.. දරුවන් එක්ක සාදය ඊළඟ සතියට කල් දාන්ට.. ඒ වගේම සාදය වෙනුවට දුවගෙ යාළුවො වෙනුවෙන්.. අපේ ගෙවල් වලට වැඩි දුරක් නැති.. සීතාවක උද්භිද උද්‍යානයේ එකී දවස ගත කරන්ට..
ඉතිං.. මේ යෝජනාවට.. හැමෝම එකඟ උනු හින්දා.. දුවගෙ යාළුවොයි.. එයාලගෙ මවු දෙමවුපියොයි එක්ක අපි උද්‍යානෙට ගියා.. තවම බලන්ටය කියලා ඒ තරම් ම දෙයක් නැතත්.. සිරි නැරඹීමේ අදහසින් ඒ පැත්තෙ ගියත් ඒ තරම්ම පාඩුවක් නොවෙන්නෙ.. අක්කර එකසිය ගානකින් හැට ගානක් ම.. ඇවිදින්ට පුළුවන් වෙන තරමට වැඩ අවසාන කරලා තියෙන නිසා.. කොහොම උනත්.. අපි නම්.. ඇතුළු වෙලා.. මුල්ම හරියෙ හමු වෙන.. කුඹුක කියලා හඳුන්වන කුඹුක් ගස් වලින් පිරුණු ප්‍රදේශය පහු කරලා ගියේ නෑ.. ඒ ඉතිං.. ළමයි .. එල්ලගෙන එහෙම ලොකු දුරවල් ඇවිදින්ට බැරි නිසා.. ඒ අතරෙ.. මඟුල් ජෝඩු ඇතුළු විවිධ කණ්ඩායම්.. විවිධ ආකාරයේ.. රූගත කෙරීම් වල නිරතව ඉන්න බවත් දැනගන්ට ලැබුණා..

මේ අතර එක විදිහකට ඇඳගත්තු තරුණ ගෑණු ළමයි දෙන්නෙක්ව කොල්ලො ටිකක් වට කරගෙන රූගත කිරීම් කරන ආකාරයත් අපට දකින්ට ලැබුණා.. සිංදු වීඩියෝවක් සඳහා මේ රූගත කිරීම් කරනවා කියලයි කිවුවෙ.. ඔය අතරෙ.. එතන හිටපු එක ගෑණු ළමයෙක් එක්ක අපේ දූලා.. බොහොම හිතවත් උනා.. කොයි තරම් හිතවත් උනා ද කිවුවොත්.. කෑම බීම ගිහින් දෙනවා.. කැමරා, ෆෝන් අරං ගිහිං.. ෆොටෝ ගන්නවා.. එක කෙළියයි.. අනේ ඉතිං මේ ගෑණු ළමයත් ආඩම්බර කමක් එහෙම නැතුව.. බොහොම ආදරෙන්.. මෙයාලත් එක්ක කතා කර කර හිටියා..

ළමයින්ගෙ ආසාවට.. බෝට්ටුත් පැද්දට පස්සේ හවස් වේගන ආව හින්දා අපි පිටත් වෙනකොට.. හිටියේ තව කීප දෙනයි.. ඒ කට්ටියටත් තව ටිකකින් එළියට යන්ට වෙන බව තේරුණේ.. හවස 6 වෙනකොට.. ඔක්කොමලා එළියට යන්ට ඕන කියලා නීතියක් තියෙන බව.. ගේට්ටුවෙ හිටපු නිලධාරීන් කියපු නිසා.. ඉතිං කොහොම හරි.. අපි බොහොම සන්තෝෂෙන් ගෙදර ආවා..

ඔය අතරේ.. අර ගෑණු ළමයත් එක්ක වැඩිපුර හිතවත් උනු අපේ දූ ගෙ යාළුවා.. එයාගෙ මොබයිල් නොම්බරේත් ඉල්ලගෙන.. මගට ඇවිත් කෝල් එකක් දීලා..

එතකොට මේ ගෑණු ළමයා අහලා තියෙනවා .. ඔයාලගෙ බෑග් එකක් දාලා  ගියාද කියලා? දූගෙ යාළුවගෙ අම්මා අපෙන් කතා කරලා අහනකොට තමයි දැන ගත්තේ.. අපේ බිරින්දැගෙ.. සබ්බ සකලමනාව ම හෙවත්.. ෆෝන් එකයි.. පර්ස් එකයි ඇතුළු.. ගොඩක් දේවල් දාලා තිබුණු මල්ලක් උද්‍යානෙ අමතක වෙලා ඇවිත් කියලා..

හොඳ වෙලාවට මේ ගෑණු ළමයා.. බෑග් එක අරං ඇවිත්.. දූගෙ යාළුවට දීලා අපටත් කෝල් එකක් දුන්නා.. ඒක නිසා අපට ලැබෙන්නට නියමිතව තිබුණු ලොකුම ලොකු පෝරියල් එකකින් අපි බේරුණා..

ඉතිං මේ සිංදු කියන නංගිට වැඩි වැඩියෙන් හරියන්ට කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම.. මේ තියෙන උතුම් ගුණ ධර්ම තව තවත් වර්ධනය වේවා කියලත් මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..

සිරස නාලිකාවෙ යන සුජාතා ටෙලි නාට්‍යයෙ තේමා ගීතය වන මෙන්න මේ සිංදුව කියන්නෙත් ඔය අපිට උදවු කරපු නංගි කියලයි කියන්නෙ.. එයා ගෙ නම.. ශිරෝමි රත්නායක. අවාසනාවකට.. අපි කවමදාවත්.. ඔය කියන නාට්‍යය බලලා නෑ.. ඒ නිසා ම සිංදුව අහලත් නෑ.. ඒක ඉතිං මේ නංගිගෙ වරදක් නෙමෙයි නෙ.. 

Wednesday, September 16, 2015

හීන, ජීවිතය සහ පොත්

            
සාහිතේ මේ තරම්ආවට
ලාබ නෑ ඔය තරම්කීවට
පෝලිමේ ඉඳ අරංනාවට
මා ළඟත් පොත් තිබෙයිලාවට
  
ජීවිතේ හරි හම්බකරපු
දේ තමයි "ඒ හීන"විඳපූ
හීන වල ජීවිතේලියපූ
නෑ කෙනෙක් තව ලොවේහිටපූ
  
වේදනා මතකයන්විතරයි
පෑදුනා නම් සැබෑතිමිරයි
බාවනාවක සුවේපවරයි
මා මගේ හීනයේගොදුරයි
  

Friday, September 4, 2015

බැරිදා විග්‍රහය ! ප්‍රශ්න නගන්නට පෙර..

පසුගිය දින කිහිපයේ දැවෙන ප්‍රශ්න කෙරෙහි මා හට අවධානය යොමන්නට නොහැකි විය.. දැන් බැලූ විට..ඉන් ප්‍රධාන ප්‍රශ්න තුනක් මම හඳුනාගත්තෙමි..
1. කොකාකෝලා ප්‍රශ්නය ගැන අනුර කුමාර කතා නොකිරීම
2. මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කිරීම
3. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා ජනාධිපතිතුමා එන විට අසුනින් නැගිටීම.

මෙම කාරණා තුනේදී ම දක්නට ලැබෙන්නේ අතිශය අන්තවාදී අදහස් වීම කණගාටුවට කරුණකි..

පළමු කාරණය සැළකූ විට.. කොකාකෝලා .. සමාජයට හානිකර දෙයක් බව අප දැනුවත් වන්නේ අදක ඊයෙක නොවේ.. එහෙත්.. සිගරැට් සමාගම් වලට මෙන්ම කොකාකෝලා සමාගමට ද ඇති කිසියම් සෘජු හෝ වක්‍ර බලයක් නිසා.. කිසිවෙකුට මේවා තහනම් කිරීමට තරම් හයියක් නැත. සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද දානවාට වඩා.. සියයට දාහක ප්‍රමාණයකින් සාර්ථක වන ක්‍රමය .. සිගරැට් තහනම් කිරීම බව ජනාධිපති තුමා වුවද නොදන්නවා විය නොහැකි වුවත්.. එසේ තහනම් කිරීම ගැන එතුමා වචනයක් වත් කියන්නේ නැත. ජවිපෙ කියන්නෙත් නැත.. එජාපය කියන්නෙත් නැත.. ශ්‍රීලනිපය කියන්නෙත් නැත..
කොකාකෝලා පැනයද එසේම ය... මෙය වඩාත් උග්‍ර වන්නේ.. කොකාකෝලා කර්මාන්තශාලාවට යන තෙල් බටයකින් තෙල්.. කැළණි ගඟට කාන්දු වීම හරහා ය.. එසේ වතුර හරහා අපට විස එක් නොකළත්.. කොකාකෝලා මින් පෙරද දිගින් දිගටම අපේ ශරීර වලට විස එක් කළ බව නොරහසකි.. කෙසේ වෙතත්.. අලුතින් ඇති වූ තත්වය.. කොකාකෝලා වලට එරෙහි වීමට.. පැහැදිලි සාක්ෂියක් ලබා දෙයි.. මුලින් කොකාකෝලා සමාගම තහනම් කළ රජය, යළිත් එම තහනම හකුලාගෙන ඇත. ඉන්පසු කිසිවෙකු ඒ පිළිබඳව හඬ නගන්නේ නැත. ජනාධිපති තුමාත් නැත.. ජවිපෙත් නැත.. එජාපෙත් නැත.. ශ්‍රීලනිපෙත් නැත.. ඒත් කාටත් ප්‍රශ්නය ජවිපෙ සද්ද නැති එක ගැන වීම.. මහා උභතෝකෝටිකයක් නොවන්නේද? සැබෑ ප්‍රශ්නය පසෙක තබා.. දේශපාලන ඇහින් කිසිවෙකුට හෝ මඬ ගසන මේ පිරිස.. ඇත්තෙන්ම බයියන් ලෙස හැඳින්වීමේ වරදක් මා දකින්නේ නැත..


දෙවැනි කරුණ ද එසේමය.. ඇතැමෙකු.. එය මත්තල ගුවන්තොට හැදූ අයට මඩ ගසන්නට යොදා ගනී.. තවකෙකු.. එය වී ගබඩා කරන්නට තීරණය කළ අයට මඩ ගසන්නට යොදා ගනී..
ගුවන්තොට හදා හමාරය.. ඒ හැදිල්ල වැරදි බව කාටත් තේරී ත් හමාරය.. ඒවා හැදූ අය බලයෙන් පන්නාත් හමාරය.. දැන් ඒ ගැන තව දුරටත් කතා කිරීමෙන් ඇති ඵලය කිම?
මේ වන විට අපගේ වී ගබඩා (පසුගිය දෙසැම්බරයේ රටින් ගෙනා සහල් ගබඩා කිරීම නිසා) පිරී ඇති බැවු අද දයා ගමගේ මහතා කියනවා ඇසුණි. ඒ නිසා ම වී ගබඩා කිරීමට තැනක් නැති කමින්.. වී මිළදී ගැනීම ඉතාම පසුගාමී තත්වයකට පත්ව ඇත්තේ වී ගොවියා අසරණ කරමිනි.. මෙයට තාවකාලික විසඳුමක් ලෙස.. නිකං වහලා තියෙන ගුවන්තොටේ ගබඩා සංකීර්ණය යොදා ගැනීම දේශපාලන කෝණයෙන් නොබැලුවොත්.. එය අවස්ථානෝචිත ක්‍රියාවක් ලෙස දැකිය නොහැක්කේද? මේ නිසා තව දුරටත්.. මහින්දට හෝ රනිල්ට මඩ නොගහා.. සිදු වන දේ දෙස ඉවසිල්ලෙන් බැලුවොත් යහපත් බව මගේ හැඟීමයි...

තුන් වැනි කාරණය නම් මහින්ද පාර්ලිමේන්තු යාමෙන්.. හෑල්ලු වන්නේය යන අදහසයි.. එහෙත්.. මහින්ද පාර්ලිමේන්තු යා යුතු බව.. මහින්ද මෙන්ම.. මහින්දට ඡන්දය දුන් ජනතාවත් තීරණය කර ඇත.. මේ දුක් වන අය දුක් වන්නේ අවංකව නොවේ.. කින්ඩියටය.. දැන් මහින්ද කෙරෙහි අනුකම්පාවක් අවැසි නොවේ.. හොඳට හෝ නරකට ඔහු දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ය. අප කළ යුත්තේ සිදුවන දේ දෙස ඉවසිල්ලෙන් බලා සිටීම මිස.. ඔහුගේ නැති වූ ගෞරවය ගැන පුන පුනා කතා කරමින් ඔහුව තව දුරටත් තලා දැමීම නොවේ..

ප්‍රශ්න නගන්නට පෙර .. අප... ප්‍රශ්නය කුමක්දැයි.. සොයා බැලිය යුතුය..

Thursday, September 3, 2015

අනේ ඉතිං අපි දෙන්නට..! Happy 10th Anniverssary


මීට අවුරුදු 10කට ඉස්සර මේ වෙලාව වෙනකොට මං හිටියෙ සවාරියක අතර මැද..තනියෙම නෙවෙයි.. මගේ ආදර බිරිඳත් එක්ක.. ඒ සවාරියට කිවුවෙ.. Honey Moon එක කියලා.. 

සැප්තැම්බර් 01 වෙනිදා.. කසාද බැඳලා.. මඟුල් ගෙදර ඉවර උනාට පස්සෙ.. රත්නපුරේ රෙස්ට් හවුස් එක.. හග්ගල පැත්තෙ රෙස්ටොරන්ට් එකක (නම මතක නෑ).. තමයි 02 වෙනිදා රාත්‍රිය ගත කළේ.. 

ගෙදර අයගෙ.. යාළු මිත්‍රයන්ගෙ විරෝධය මැද්දෙත්.. අපේ ගමන අපි ගියේ .. අපේ දඬුමොණරෙන්.. ඒක නිසා වෙඩින් කපල් එකක් විදිහට අපිව හයිලයිට් උනෙත් නෑ.. 
හුඟක් තැන් වලදී.. ගමනත් පහසු උනා.. විශේෂයෙන්.. පාරවල් හදන නිසා වාහන තදබදය ඇතිවෙලා තිබුණු තැන් වලදි.. ලොකු වාහන වලට යන්න බැරි තැන් වලදි.. අපේ වාහනේ අපට ආශිර්වාදයක් උනා..

ඒත් සමහර අවස්ථා වලදි නම් කරදරේ වැටුණා.. තුන්වැනි දවසෙ එක තැනකදී (ගම්පොල ආසන්නයේදී) පැච් එකක් ගිහිං.. කිලෝ මීටර දෙකක් බයික් එක තල්ලු කරන්ට උනා..  හතරවැනි දවසෙ.. මාවනැල්ලෙ ඉඳං.. අවිස්සාවේල්ලට ම එනකං.. හොඳට තෙමුණා.. 

ඔය බයික් එකේ හනිමූන් ගිය කතාව ප්‍රසිද්ධියෙ පළ කරන්නෙ ප්‍රථම වතාවට හොඳේ.. මට ඒක රසවත් උනාට.. අනෙක් අයට රසවත් නොවන නිසා... අපි ඒක බොහෝ දෙනාගෙන් වහං කළා..

කොහොම හරි.. අතුරු ආන්තරාවක් නැතිව.. හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙ නැතිව.. අපේ සවාරිය නිම කරලා 05 වැනිදා සියළු ආශිර්වාද මැද.. අලුත් මනමාලිව .. ගෙදරට කැන්දං එන්ට මට පුළුහන් උනා..

නියම සටන පටං ගන්නෙ ඊට පස්සෙයි කියලා දැනගෙන උන්නු හින්දම.. ජීවිතේ .. දුක සැප අසල නොසැලී ගෙවන්ට අපට පුළුහං උනා.. ඔවු.. ඔයා සාර්ථක බිරිඳක් වෙන්ට වගේ ම අපේ පවුලේ සාමාජිකයෙක් වෙන්ට ඉතා ඉහළ මට්ටමේ කැපවීම් කළා.. මගේ අම්මත්.. අක්කත්.. ඔයත් අපේ පවුලෙම කෙනෙක් විදිහට සලකමින්.. සුළු සුළු වැරදි තිබුණත් ඒවා නොසලකමින්.. කරපු කැපවීමුත් ඊට දෙවෙනි නෑ.. මං හිතන්නෙ ඔයාව මටත් වඩා මගේ පවුලේ උදවියට සමීපව දැනුණා.. ඇතැම් විට ඔයා තමයි මට ඒ අයගෙ ගැටළු වලට මැදිහත් වෙන්ට අවශ්‍ය තොරතුරු පවා ලබා දුන්නේ.. කොටින්ම.. අපේ පවුලෙ බැඳීමේ පුරුක බවට පත්වෙන්ට ඔයාට පුළුහං උනා..

ඊළඟට අපිට දරුවො ඉපදුණා.. ඔයාගෙ කාර්යභාරය එන්ට එන්ටම විශාල උනා.. ඔයාගෙ රස්සාව නිසා.. පවුලේ වැඩ වලට (විශේෂයෙන් දරුවන්ගෙ සතුට ට) බාධාවනුත් නොවුනා නෙවෙයි.. ඒ ගැන මං හිටියෙ ඒ තරම් සතුටකිනුත් නෙවෙයි.. මතකයිනෙ.. බඳින්ට ඉස්සරම ඔයා එකඟ උනා.. රස්සාව විවාහයට කරදරයක් නොවෙන විදිහට කරන්ටත්.. මං කියන වෙලාවක රස්සාවෙන් අයින් වෙන්ටත්..  ඒත් ඔයාට රස්සාව දිගටම කරන්ට දැඩිවම ඕන උනා..  ඔයාගෙ අම්මගෙ .. සහෝදරියන්ගෙ වගේ ම මගේ දෙමවුපියන්ගෙ බලපෑමුත් ඒකට හේතු වෙන්ට ඇති.. ඒ කාරණේදි නං තවම මං පරාදයි.. 

ඒ වගේ ම.. පහුගිය අවුරුදු දහයෙ... මගෙ අතිනුත්.. නොයෙක් අඩුපාඩු වෙන්ට ඇති.. විශේෂයෙන් මට කේන්ති යන්ට ඇති.. ඒ වගේම.. ආර්ථික වශයෙනුත්.. හිතන පතන තරමටම ඔයාට සැප සම්පත් දෙන්ට මට බැරි වෙන්ට ඇති.. ඒත්.. මං නිතරම .. මගේ යුතුකම් උපරිමයෙන් ඉටු කරන්ට උත්සාහ කළා.. අපි නිතරම උත්සාහ කරන්ට ඕන.. ඒ උත්සාහ වලින් සීයෙට හැත්තැ පහක් විතර වත්.. හරි යනවා නං.. අපි විශිෂ්ඨයි.. අඩු ගානෙ සීයෙට හැටක් විතර හරි යනවා නං.. අපි හොඳයි.. සීයෙට පනහක් උනත් කමක් නෑ... කොහොම උනත්.. කිසිවක් උත්සාහ නොකර ඉන්නවාට වඩා.. සීයෙට එකක් හරියන්ට හරි උත්සාහ කරන එක හොඳයි කියන එකට අපි එකඟ වෙන්ට ඕන.. 

තවම දහයයි ගියෙ.. මං හිතන්නෙ.. අඩු ගානෙ අපට තව.. පහලොවක්වත් යන්ට තියෙනවා..උත්සාහ කළොත්.. අපිට පුළුහං වෙයි.. අපේ පැතුම් එක්ක සමගාමීව.. සතුටෙන් ජීවිතේ ගෙවන්ට.. 

දුරක් ආවා
ඇවිදගෙන මාවතක
තවත් යන්නට
තිබේ බෝ දුර මඟක
අඳුර දුරලන
පහන් දල්වමු
රුදුරු වැසි කඳ
පෙමින් අවුරමු
කොහිද එළියක්
අපේ පෙම් සිත් මිසක