Friday, June 26, 2015

අධිකරණ තීන්දු වලට එරෙහි වීම

එදා මෙන් නොව.. අද අධිකරණය.. ස්වාධීන තීන්දු තීරණ ලබා දෙන බවක් පැහැදිලිව පෙනේ.... ඒවායින් සමහරක්.. තීරණ... පොදු සමාජයේ ඇසින් වැරදි ඒවා විය හැක.. එහෙත් අධිකරණ විනිසුරුවරයන්ගේ වගකීම පවතින නීතියට අනුව වඩාත් අපක්ෂපාතීම තීන්දුව ලබා දීම මිස.. බහුතරයේ හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත ඉටු කිරීම නොවේ..

ආසන්නතම සිද්ධිය හමුදා නිලධරයා සම්බන්ධ තීන්දුවයි.. මට නම් එය පෙනෙන්නේ.. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් ලෙසයි.. ඔහු නිවැරදි නම්, කළ යුත්තේ..මේ තීන්දුව ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට.. අධිකරණයෙන්ම සාධාරණයක් ඉටු කර ගැනීමයි.. ඇතැම් විට   මෙම තීන්දුව ගෙන ඇත්තේ නීතියේ යම් හිඩැසකින් නම්.. ජනපතිවරයා හමුවේ මෙම ගැටළුව ඉදිරිපත් කිරීම.. සාර්ථක පියවරක් වනු ඇත.. වත්මන් ජනපතිවරයා.. නිකරුණේ අධිකරණයේ වැඩ වලට ඇඟිලි ගසන මදාවියෙකු නොවන බව අපි දනිමු..

රට වෙනුවෙන්.. ඉතා බරපතල යුදයක යෙදුණු පුද්ගලයෙකු පිළිබඳ මෙවන් තීරණයක් ඇසීමට අප කවුරුත් කැමති නැත..  ඇතැම් විට විනිසුරුවන්ට  වැරදුණා ද විය හැක.. මන්ද විනිසුරුවන් ද මිනිසුන් වන බැවිනි.. එබැවින් නැවත වරක් මෙම සිද්ධිය අධිකරණය තුළ විභාග කිරීම වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාව වනු ඇත..

ආණ්ඩු විරෝධී පිරිස් .. මෙය ආණ්ඩුව විසින් දුන් තීරණයක් පරිද්දෙන් මේ සම්බන්ධව ආණ්ඩුවට දොස් පවරමින් සිටිති.. ඡන්දයක් අත ළඟ තබාගෙන මෙවන් තීන්දුවකට අධිකරණයට බලපෑම් කරන්නට  ආණ්ඩුවට මොලේ කොලොප්පම් යැයි සිතනවා නම්.. ඒ ඔවුන්ගේ දේශපාලන අඳබාල කම මිස අන් කවරක්ද? මෙය දේශපාලන අර්ථයෙන් නොදැක.. අපේ සහෘදයෙකු.. අපේ ම මිනිසෙකු හට සිදුවූ අකරතැබ්බයක් ලෙස සලකා..ඔහුගේ නිදහස පතමු.. එය වඩාත් සාධාරණ ක්‍රමයකට ලැබේ නම් ජාතියක් ලෙස ආඩම්බර වියහැකි බව සිත්හි තබාගමු..

Monday, June 22, 2015

0% available (plugged in, not charging) Consider replacing your battery

පෙරේදා හොඳටම කලබොල දවසක්.. රියල් මචං ගෙ පස් කන්දක හුස්ම ගන්න සීන් එකට යන්න තිබුණු නිසා.. දඩි බිඩියෙ යද්දි.. ලැප් එකට ගහලා තිබුණු ප්ලග් එක ගලවන්න බැරි වෙලා.. ඊට පස්සෙ තවත් ගමනක් යන්ට වුණු නිසා.. ගෙදර එනකොට රෑ උනා.. කොහොමිං කොහොම හරි.. ඊයෙත්.. හවස තමයි ලැපා දිහා ඇහැක් ඇරලා බැලුවෙ..

ඔන් කරලා බුකියට ලොග් උනා.. බැටරිය 100% කියලා තමයි පෙන්නුවෙ.. සම්පත් අයියගෙ පොටෝ දෙක තුනකට ලැයික් දාන්ට ඉස්පාසුවක් උනේ නෑ..  මෙන්න ලැප් එක ඕෆ් උනා.. ඕන මඟුලක් කියලා දමලා ගහලා නිදියගත්තෙ..ඕක ගැන හිත යොමු කරන්ට ගියොත්.. නිදි දෙවුදුවට හිරිහැරයක් වෙයි කියන බයට..

උදේ නැගිටලා..ඔන් කරන්නත් කලිං ම ප්ලග් එක ගැහුවා.. මෙන්න බොලේ.. චාර්ජිං බල්බ් එක කොල පාටින් පත්තු වෙනවා (ඒ කියන්නෙ චාර්ජ් වෙන්න දෙයක් නෑ කියන සඥ්ඥාව) . ඔන් කරලා බැලුවම.. පෙන්නන්නෙ අර හෙඩිමෙ තියෙන වාක්‍ය පොඩ්ඩ.. උදේ පාන්දර තියෙන හීතල හිංදා වෙන්ටැති දාඩිය දැම්මෙ නෑ... ඒත් හිතුණෙ බැට්‍රියට අබ සරණයි කියලා.. ඒත් අන්තර් ජාලය පැත්තෙ හොයලා බලන්ට ඕන කියලා හිතුණෙ.. මොකක් හරි ගොඩ වෙදකමක් තියෙයිද කියලා බලන්නයි..

අනේ ඒත් බලන බලන ඒවයෙ තියෙන්නෙ.. දැන් නං උඹට කෙලවෙලා කියලා විතරමයි.. ඒත් එක දෙයියෙක් වගේ මහත්තයෙක් කියලා තිබුණා.. ප්ලග් එකයි බැටරියයි ගලවලා.. තත්පර දහයක් පවර් බටන් එක ඔබාගෙන ඉඳලා බලන්ට කියලා.. පල්ලෙහයින් තවත් මහත්තයෙක් කියලා තිබුණා.. ඒක වැඩ කළා කියලත්.. මටත් හිතුණා ඕක කොරලා බලන්ට..


දෙයියංගෙ පිහිටයි .. බුදුංගෙ සරණයි කියලා.. මෙන්න යකඩෝ.. ගිඩි ගිඩි ගාලා චාර්ජ් වෙනවා හිටං.. මට ලොකු සතුටක් දැනුණා කාලෙකට පස්සෙ.. ඉතිං හිතුණා.. ලැප් පාවිච්චි කරන ඔයාලත් එක්ක බෙදාගන්න... ඔයාලටත් ඔහොම අකරතැබ්බයක් උනොත්.. ඕක කොරලා බලන්න..

මේ තියෙන්නෙ.. අර දෙයියා වගේ මහත්තයා දීලා තිබුණු උපදේසෙ..

Can you take the battery and charger out and press the power button for 10 seconds, then put the battery in to see if it starts to charge up, if not then unfortunately, your only option is to get a new battery.

මෙන්න ලිංක් එක 







Tuesday, June 9, 2015

ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල


අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...
පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළේ උණ හා කකුලේ තුවාල නිසාය.. මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් සිටින අතර.. එහි සඳහන් පුවරුවක පසුගිය දිනවල ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව සඳහන්ව තිබුණි.. එය දිනකට 250-350 අතර ප්‍රමාණයක් විය.. මේ ප්‍රමාණය.. සායන, බාහිර රෝගී අංශය, වාට්ටුවල ප්‍රතිකාර වලට අමතරව ය.. මේ අනුව බැලූ විට.. රෝගීන් අඩු වශයෙන් 3000ක් වත් දිනක් තුළ.. රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා ඇත.. රෝහලට ඇතුලත් වීමට පෙර.. අප ඩිස්පැන්සරියක් වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවූ අතර.. ඔහු දිනකට ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය.. 150-200 අතර වෙයි..මේ ආකාරයට තැන් තැන් වල පුංචි.. පුංචි.. ඩිස්පැන්සරි.. විශාල ගනණක්.. ප්‍රධාන පුද්ගලික රෝහල් තුනක්.. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇත.. මේ තැන් සියල්ල පාහේ පිරී ඉතිරී ඇති බැවු දක්නට හැක.. මේවායින් ප්‍රතිකාර ගන්නා.. රෝගීන්.. ප්‍රමාණය.. දළ වශයෙන් දිනකට 5000 ඉක්මවනු ඇතැයි සිතිය හැක..
මේ අනුව සමස්ථයක් වශයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පමණක්.. දිනකට රෝගීන් 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගනියි.. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් නිස් පරිදි සුව වනවාද යන පැනයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක..
අප්පච්චිගේ ඇඳට එහා ඇඳට පෙරේදා හවස ආ ලෙඩා සමඟ ඊයේ දහවල් කතා කළෙමි.. ඔහු පැමිණ ඇත්තේ බුලත්කොහුපිටියටත් එහා සිටය..ඔහුට ඇත්තේ කකුලේ තුවාලයකි..
අද බෙහෙත් දාලා ටිකට් කැපුවා.. පුදුම කරුමයක් මේක.. කෑගල්ලෙ ඉස්පිරිතාලෙට ගියා එහෙත් උදේ ආවා හවස ටිකට් කැපුවා.. යන යන තැන ඔහොමයි.. මිසී කෙනෙක්ට කිවුවාම කියනවා.. තමුසෙ වගේ ලෙඩ්ඩු මේකෙ තියාගත්තොත්..ලෙඩ්ඩු කීදෙනෙකුට මැරෙන්න වෙයිද කියලා..
හැන්දෑවෙ අප්පච්චි බලන්ට හිහාම.. අප්පච්චිට ඉන්සියුලින් විදින්ට ආවෙ මගේ මිත්‍රයෙක්.. ඉතිං යාළුවත් එක්ක ටිකක් කතා කරන්න ලැබුණා..
‍ඊයෙ .. අදට වඩා ගොඩක් බිසී නේද? මං ඊයෙ කතා කළේ නැත්තෙ ඔයාලා බිසී නිසා..
ඔවු.. ඊයෙ ලෙඩ්ඩු හොඳටම වැඩියි.. අදත්.. තියටර් ගිය අය 20-30ක් ඉන්නවා.. ආවම පිරෙයි..
වාට්ටුවෙ ඇති වෙන්න නර්සස් ලා ඉන්නවද?
වාට්ටුවෙ ඉන්න ඕනි ගාන නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙඩ්ඩු වැඩි එක..
එහෙම උනාම ඉතිං හැම ලෙඩා ගැනම බලන්න වෙන්නෙ නෑ නේද?
අනික..දැං ඉතිං කාලයක් මෙතන ඉඳළා ඔයාලට මේවා සාමාන්‍ය දේවල්නෙ..
ඒක තමයි අපි විශේෂයෙන් බලන්නෙ ජීවිතයට අනතුරක් තියෙන අය ගැන විතරයි.. අනිත් ඇය ගැන බලන්න වෙලාවක් නෑ..
ඔන්න ඔහොමයි මිත්‍රයා කිවුවෙ..
ජීවිත අවදානමක් නැත්තං.. එළියෙන්ම බෙහෙත් ගන්න එක දාහෙන් සම්පතයි කියලා ඉතිං අපි තේරුං ගන්න ඕනි..
ඉතිං අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ට.. ඉස්පිරිතාල හදලා විතරක් වැඩක් නෑ.. ඒවට අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඕන.. ප්‍රතිකාර මීට වඩා ස්ථිර වෙන්ටත් ඕන.. කාර්ය මණ්ඩලය හොඳට උද්‍යෝගිමත්ව තියා ගන්ටත් ඕන..
රෝගාතුරව ඉන්න මගේ අප්පච්චිට වගේ ම රට පුරාම මේ වගේ විවිධ රෝග ආබාධ වලින් දුක් විඳින රෝගීන්ට .. නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.. පුළුවං නං.. ඔයාලත් එහෙම කරන්ට..

Sunday, June 7, 2015

මහා සවු දන්සැලාක්..!

මහා සවු දන්සැලාක්..!
මහා සවු දන්සැලාක්..!
තමන්ට හැකි උපරිමයෙන් කෑ ගසමින් කොඩි වනමින් පාරේ යන එන වාහන නවත්වන්නට වෙර දරන මගේ පොඩිත්තො දෙන්නා ළඟට කිට්ටු කරපු මං ..
පුතේ.. මෙතන.. මහා සවු... නෑ.. තියෙන්නෙ සවු දන්සැලක්.. කියා කීවේ.. උන්ගේ දිරිය බිඳ දමන්නට නොවේ.. යථාර්තවාදී වීම කියා දෙන්නටයි..
මොහොතකට..
සවු දන්සැලක්.. කියමින් කෑ ගැසූ දෙදෙනා .. යළිත්.. සුපුරුදු වාක්‍ය ඛන්ඩයම කියමින් කෑ ගසන්නට වන්හ..
අපේ රටේ දන්සැල් සියල්ලක්ම නමින් මහා ඒවා වුවත්.. බොහෝ දන්සැල් දන්සැලක අර්ථයෙන් ගත් කළ.. නොසැළකිය හැකි තරම් ඒවා බව මගේ අදහසයි..
මා දකින අයුරින්.. එකී දානය..
නිර්මල ලෙස ඉපැයූ ධනයෙන් සකස් කළ දානයක් විය යුතුයි..
කෙනෙකුගේ කුස පිරවීම.. අරමුණු කරගත්තක් විය යුතුයි..
දායකත්වය දරන්නන් සැදැහැ සිතින්, අදාල දායකත්වය දැරිය යුතුයි..
සෞඛ්‍ය කාරණා වැදගත් වන බැවින් පිරිසිදුව සකස් කළ යුතුයි..
දන්සැල අසල වටපිටාව.. සහ.. ඒ අවට හැසිරීම ප්‍රසන්න, පිරිසිදු හා සිත්ගන්නා සුළු විය යුතුයි..
දානය ලබන්නාට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් එය අවම කිරීම ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි..
මාර්ග අවහිර නොවන පරිදි.. වාහන නැවැත්විය හැකි තැනක් තෝරා ගන්නේ නම් හොඳයි..
දන් ලබන්නා ද.. අවශ්‍යතාවය මත පිහිටා දන් ලබා ගන්නේ නම් එය දානයේ වටිනා කම වැඩි කරනු ඇත..
එහෙත්.. අද බොහෝ විට ඇත්තේ කැපී පෙනීම, ෆන් ගැනීම හා පොර වීම, පෙර සිට පැවැත්වෙන නිසා පැවැත්වීම.... වැනි අරමුණු වලින් දන්සැල් පැවැත්වීම බව මගේ අදහසයි..
ඇතැම් දන්සැල් වල මත්පැන් පානය පවා සිදු කෙරෙන බව මා අසා ඇති අතර.. එවන් දන්සැල් බොහෝ විට ආරවුලකින් කෙළවර වේ..
එනයින් බැලූ කල.. මහා දන්සැල් ඇත්තේ අතලොස්සක් විය හැක..
ඒ අතරම දන්සැලකින් සිදුවන අමතර ප්‍රතිලාභ ගැනද අප විමසිලිමත් විය යුතුය..
පිරිස් සමඟ එක්ව පොදු කාරණාවක් උදෙසා සංවිධානය වීම..
දන්නා .. නොදන්නා.. හැමදෙනාට සංග්‍රහ කිරීම තුළින් ලබාගන්නා.. අනන්‍ය වූ සතුට..හා සැනසුම..
අන්‍යෝන්‍ය සුහදශීලීත්වය ගැන රට තුළ මතු කළ හැකි ... ආකල්පමය වෙනස..
මෙවැනි කාරණා මේ අතර වෙයි..
මේ අතර.. අපේ ගමේ.. පොඩියට මොන්ටිසෝරියක් කරගෙන යන ගුරුවරියක් සිටී.. ඇය මෙවර.. පුංචි ළමයින් සඳහා කතන්දර පොත් දන්සැලක් දී ඇති බැවු ආරංචි විය.. පොසොන් පොහොය දින වන්දනාවේ යන දරුවන්ට කතන්දර පොත් වල ඇති ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්.. ආකල්පමය වශයෙන් ගත් කල ..ඇගේ එම උත්සාහය අගය කළ යුතු බව මගේ අදහසයි..
සියළු දානයන් අතර ධර්ම දානය උතුම් බවත්.. ඊටත් වඩා.. එක සිල්පදයක් රැකීම උතුම් බවත් .. අප බුදුරජාණන් වදාරා ඇති වගක් බණකින් ඇහුණා මතක තිබේ..
කෙසේ වෙතත්.. නැවැත්ම සඳහා වන ධර්මයේ පැවැත්ම සඳහා දානය අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුය..

Friday, June 5, 2015

පෙමට කිසි තහනමක් නොවේ

සිල් බිඳං අපි ලැබූ සුවේ
තාම හිත ආදරෙන් දැවේ
නෑ මෙවන් දෑ තවත් ලොවේ
වෙන් වීම අහඹුවක් නොවේ
  
හිත ද ඒ මේ අතට නැවේ
ඇය ට හිමිවී දිනත් ගෙවේ
එකතු නොම වූ නමුත් බවේ
පෙමට කිසි තහනමක් නොවේ
  
අත් කරන් ජය අරන් ජවේ
මා ඔබෙන් අන් මඟක දිවේ
පාලුවෙන් කිතියකුත් කැවේ
හිත් අහසෙ වැට කඩොළු නොවේ
  
ළබැඳි බව හදවතට පෙවේ
දැන නොදැන පෙම් පවස නිවේ
නොම බැඳුණු කිසි දිනෙක පවේ
සබඳ මිස ඔබ බිරිඳ නොවේ