Sunday, May 24, 2015

කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර



මේක මීට අවුරුදු 10කට කලිං තමයි සිද්ධ උනේ.. එතකොට මගේ විවාහ උත්සවේ වෙනුවෙන් අපේ ගේ පිලිසකර කරන කාලෙ.. අපි තීන්ත ගත්තෙ.. කිරිවන්දල චන්ද්‍රා එකෙන්.. මොනවා හරි අඩුපාඩුවක් ගේන්න අප්පච්චි ගියා.. ඔය කඩේට.. ඔහොම ගිහිං පැයකින් විතර.. ගෙදරට කෝල් එකක් ආවා..

ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණා.. මගේ (ඒ දවස් වල වෙන්ට) බිරිඳගේ අම්මා හොඳ වෙලාවට එතන ඉඳපු නිසා.. බලනකොට.. ලේ වල සීනි මට්ටම ඉතාම වැඩි අගයක් තිබුණේ.. මට මතක විදිහට.. තුන්සිය ගානක් ද කොහෙද..

කොහොමින් කොහොම හරි.. කකුළේ අස්ථි වගයක් පුපුරලත් තිබුණ නිසා.. වාට්ටුවට ඇතුළු කළා.. ඊට පස්සෙ තමයි හොයලා බැලුවෙ.. මොකද්ද උනේ කියලා..

අප්පච්චි තීන්තත් අරගෙන කහ ඉරෙන් පාර පනිද්දි යතුරු පැදියක වැදිලා තමයි මේක වෙලා තියෙන්නෙ.. හැපුණු ගමන් යතුරු පැදි කරු.. ඒ හරියෙම වැටුණට යතුරු පැදිය මීටර් විස්සක් තිහක් ගිහිං තමයි නතර වෙලා තියෙන්නෙ.. හිතා ගත්තැකිනෙ යතුරු පැදියෙ වේගෙ..

යතුරු පැදි කරු.. අවුරුදු 38ක විතර අයියා කෙනෙක්.. මිනිහා හොඳටම බය වෙලා.. ඒ මදිවට මිනිහගෙ කලිසමත් ඉරිලා..

මල්ලි .. මට බ්‍රේක් කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. තාත්තා එක පාරටමනෙ පැන්නෙ.. මිනිහා තටම තටම කිවුව විදිහට මට තවත් දුක හිතුණා..

මං අනික් පැත්ත බලලා.. මේ පැත්තෙන් ආපු ලොරිය ගිය ගමන් පැන්නා.. බයිසිකලේ දැක්කෙ නෑ.. මගේ තමයි වරද.. ඕං අපේ අප්පච්චි වරද පිළිගත්තා.. අර මනුස්සයා ගැන දුක හිතිලද මංදා..

ඒ උනාට මහත්තයා.. මෙයා ඇවිත් තියෙන වේගෙ වැඩියි.. එකක් වංගුව.. එකක් කහ ඉර.. පාරෙ වාඩි වෙලා හිටියත් මිනිස්සු යට කරගෙන යන්න බෑ නෙ.. රෝහල් පොලීසියෙ රාලහාමි.. ටිකක් වැඩේ තද කරන්න වගේ කල්පනාව.. කොහොම හරි.. දෙන්නගෙ කට උත්තර ලියා ගත්තා..

දවස් දෙක තුනකින්.. ටිකට් කපාගෙන අප්පච්චි ගෙදර එක්ක ආවා.. තෙල් බෙහෙත් වලින් තමයි .. අර කැඩුණු බිඳුණු තැන්.. සනීප කොරගන්න උත්සාහ කළේ... අනේ ඉතිං අර අයියා හරි හොඳයි.. නිතරම අපේ ගෙදරට කතා කරලා සුව දුක් අහනවා..

ඔය අතරෙ දවසක පොලීසිය අර අයියත් එක්ක.. අපේ ගෙදරට ආවා..

අනේ මල්ලි කොහොම හරි මේක ෂේප් කරලා දෙන්න.. අර අයියා.. බැගෑපත් වෙනවා.. මගේ බයිසිකලෙත් ගන්න දෙයක් නෑ.. ඒක නම් ඕන දෙයක්... කාලෙ... නඩු දැම්මොත් එහෙම මහ ලෙඩක්.. 

හරි.. හරි.. අයියා.. අපේ අප්පච්චිගෙ නෙ වැරැද්ද.. අපි මේක ඇදගෙන යන්න අදහසක් නෑ.. මාත් ඉතිං ෆුල් ෂේප්..

ඔය අතරෙ ආපු අහල පාල නොයෙල් අයියා.. අප්පච්චිට කිවුවෙ..
මේක නිකං අරින්න එපා.. පොඩි වන්දියක් ඉල්ලගන්න.. අඩුගානෙ බෙහෙත් කරන්නවත්.. කියලා.. ඒත්.. ඉතිං අලට වැඩියිනෙ කොස්.. අපේ අප්පච්චිත්.. කියනවා..
චී.. චී.. ඒක හරි නෑ නෙ.. මගෙ වැරැද්දෙන් නෙ හැපුණෙ.. කියලා..

රාළහාමිත් ආයෙ පැහැදිලි කළා.. අප්පච්චි කොයිතරම්.. වැරදි උනත්.. නඩුවක් කිවුවොත් අවාසිය අර බයිසිකල් අයියටම තමයි.. කියලා.. ඒත් ඉතිං අපි ප්‍රතිපත්ති ගරුකයි නෙ.. අන්තිමට රාළහාමිටත් මළ පැන්නා.. එහෙනම් ඕන එකක් කරන්න කියලා.. මිනිහා කට උත්තරය ලියාගෙන වැඩේ අහවර කළා..

අනේ අර අයියා මුව නොසෑහෙන සේ ස්තුති කරලා කාර් එකේ නැගලා යද්දි හෝන් එකකුත් ගැහැවුවා.. ඊට පස්සෙ නිතරම කෝල් කරලා සැප දුක අහන්න ටැලිපෝන් නොම්මරේ නැති වෙන්න ඇති මයෙ හිතේ.. අවිස්සාවේල්ල පැත්තෙ එවෙන්නත් නැතුව ඇති..

අපේ අම්මා තාම ඉඳ හිට මතක් කරන්නෙ.. ලේසියෙන් දේකට එකඟ නොවෙන අප්පයි පුතයි දෙන්නා බොහෝම සමඟියෙන්.. කරපු පරිත්‍යාගය ගැන..ජුගුප්සාජනක හැඟීමකින්.. මටත්.. අප්පච්චියි මායි සමඟියෙන් කරපු වැඩක් හැටියට මුලින්ම මතකෙට එන්නෙ මේ සිද්ධිය.. කොහොම උනත්.. වර්තමානෙ.. අප්පච්චිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙන්නත් ඔය අනතුර බලපාන්න ඇති කියලා පොඩි අදහසක් තියෙනවා..


Friday, May 22, 2015

සබඳ

ආදරය කියන්නේ..
ඔබ මගේ
මම ඔබේ
.......
නෑ ඔබට
හෝ මෙමට
ලැබෙන කිසිවක් ඉබේ...

පාවෙනා වළාකුළු
වලත් දිය බිඳු තිබේ
..........
වාසනාවට සබඳ
ලැබෙන සේරම ලැබේ
........

Wednesday, May 20, 2015

හිරු නැවතත් පැමිණේවි

උඹ අඬපන් තව හයියෙන් මට කඳුළු ...නො ඒවී
ඒ උනත් දෑස බලපන් එය කතා ...............කරාවී
හෙමි හෙමින් නමුත් උඹටත් ටික ටික ..වැටහේවී
ගෙවුණාද නෑ අතීතය සදහට ..................පවතීවී
ගුරු පාර තාර කාපට් උගුලට ....................යටවේවී
අළු කොබෙයි රුව මකා කලු කපුටන් .......මතුවේවී
වැව ගාව නෙළුම් කොළ මත මොණරුන් සැතපේවී
කොයි තරම් දුර ගියත් හිරු නැවතත්........පැමිණේවී

Monday, May 18, 2015

නූලෙන් බේරුණේ..

ලොවම කිවුවා
හැමට රහසින්
ඇයත් මා හට
පෙම් කළායයි..
හොඳ වෙලාවට
මං නොදන්නේ
තව ටිකෙන්
සේරම හමාරයි..

Saturday, May 16, 2015

නුඹ කොහිද

වෙනදාට
මා ළඟම
සෙනෙහසින්
දැවටෙනා..
මටම සරි
සිහිනයක්
ළඟ ඇතැයි
මුමුණනා...
හෙට උදෑසන
ගැනත්
මැසිවිලි ද
අමුණනා....
නුඹ කොහිද
නුඹ කොහිද
මට නිබඳ
සුව දෙනා..

Thursday, May 14, 2015

හරි මඟ

සුන්දර රූ සපු හිමි කාන්තාවන් දෙදෙනෙක්.. හදිසි අනතුරක් නිසා අසාධ්‍ය තත්වයට පත්වුණා.. ඔවුනට පියවි සිහිය නොතිබූ අතර ඔවුන් මරණාසන්න බවයි.. රෝහලේ ඇති උපකරණ පෙන්වා දුන්නේ.. එහෙත් නොපෙනෙන ලෝකය තුළ නොපෙනෙන යමක් සිදු වෙමින් තිබුණා.. මෙම කාන්තාවන් දෙදෙනා.. මෙලොවින් චුත වන්නට නියම වී තිබුණා.. ඔවුන් ගුරු පාරක් දිගේ ඇවිද ගියා.. ඔවුනට හමු වුණේ මංසන්ධියක්.. එහි දොරටුපාලයෙක් විය හැකියැයි සිතිය හැකි කෙනෙකු සිටියා..
මේ පාරවල් යන්නෙ කොහේටද?
කාන්තාවන් විමසා සිටියා.. 
තමන්ලගේ ඊළඟ භවය වෙත..
දොරටුපාලයා රළු විදිහට උත්තර දුන්නා..
අපි කොහොමද හරි පාර තෝරගන්නෙ.. ?
ඊළඟ ප්‍රශ්නය..
ඔබ කර ඇති පිං පවු අනුව සහ වඩවා ගෙන ඇති සිහිය අනුව.. ඔබට නිසි මාර්ගය තෝරාගත හැකි වනු ඇත.. 
මේ.. බැරිද.. පොඩි ඉඟියක් දෙන්න.. ? එක් කාන්තාවක් තොඳොල් වෙමින් පැවසුවා.. 
ඕවා ඉතිං ඕවා නිකං කරන්න බෑ.. 
කාන්තාවන් දෙදෙනාම තමන්ගෙ අත් බෑග පරීක්ෂා කළේ.. මුදල් ටිකක් යහමින් අත මිට මොළවන්ට හිතාන.. ඒත් පසුම්බි හිස් බව තේරුණු කාන්තාවන් පසු බැස්සා.. 
අනික කොච්චර කළත්.. ඔය හුඟක් පාරවල් වලිං වැටෙන්නෙ එක වගේ ම තැන් වලට..
ඉතිං අපි මොකද කරන්නෙ?
මෙතනින් හොඳයි කියලා සිතෙන පාරක් තෝරාගෙන යන්න..ඔබ මෙතන පසු කළ සැණින් ඔබ ගේ වත්මන් භවය නිම වනු ඇති.. 
නැහැ මට මැරෙන්න බෑ.. කාන්තාවන් කඳුළු සලන්නට වුණා..
ඔබ දෙදෙනාම පැවති දිවිය බොහෝ සාර්ථකව ගතකර ඇති හැඩයි..
නැහැ.. මට මොන මාර්ගය තෝරාගන්නද කියා හිතාගන්න බෑ.. මට බයයි..
ඕකට කියන්නේ සංසාර බිය කියා.. ඔබ ක්‍රියා කරද්දී සංසාර බිය ඇතිව ක්‍රියා කළා නම්.. අද බිය වන්නට දෙයක් නෑ.. ඔබ නිසැකයෙන් ම හොඳ මාර්ගයක් තෝරා ගනීවි..
මට ආ මඟින් ආපසු යන්න බැරිද?
ඔබට ආ මඟ සොයා ගත හැකිද? සොයාගත හැකි නම් ඔබට යා හැක..
කාන්තාවන් දෙදෙනාම ආපසු හැරී බැලුවේ තමන් ආ මඟ කුමක්ද කියා..
එහෙත් හැම මඟක් ම එක වගේ.. ආ මඟ සොයන්නට බැහැ.. අඩි සලකුණු.. සටහන් වෙලත් නෑ..
වෙනත් ක්‍රමයක් නැද්ද?
ඔබට සිදු වෙනවා තෝර ගන්නට.. මරණය හෝ රමණය
රමණය? කා එක්කද?
මා පවසන කෙනෙකු සමඟ..
දෑස පියා මඳක් කල්පනා කර මම මරණය තෝරා ගන්නවා.. කියූ එක් කතක්.. තමන් යා යුතු මාර්ගය ලෙස තෝරාගත්තේ.. එතැන තිබූ තරමක් දුෂ්කර බවක් පෙන්වූ මාර්ගයක්..
ඇයි ඔබ මේ මඟ තෝරා ගත්තෙ..?
මං අහලා තියෙනවා.. නිවැරදි මඟ දුෂ්කරයි කියා.. 
ඉතින් වඩාත් ම දුෂ්කර මඟ මෙය නොවෙයි නේද?
ඔවු.. ඒත් මේ පාර.. මගේ ප්‍රමාණයටයි තියෙන්නෙ.. මීට වඩා දුෂ්කර පාරවල් මට ඔරොත්තු දෙන එකක් නෑ.. ඕක වැඩියම හිතලා වැඩක් නෑ.. අපි අභියෝග වලට මූණ දෙන්ට ඕන.. 
ඔබට සිතෙන්නෙ නැද්ද? ආපහු යන්න තිබුණා නම් කියා..?
මට තියෙන හොඳම විකල්පය මේකනෙ..
ඒත් ඔබේ දරුවො.. සැමියා.. දෙමවුපියො.. ?
ඒත්.. ඒ ගොල්ලො ගැන දැං හිතලා වැඩක් නෑ..නේද? මං හිතන්නෙ මෙතැන ඉඳං කොහොමද මං ඊළඟ මරණයට සූදානම් වෙන්නෙ කියලා..
හොඳයි ඔබට සුබ ගමන්.. කියූ දොරටුපාලයා.. අනෙක් කාන්තාව දෙසට සිය දෑස් යොමු කළා..
ඔබ රමණයට සූදානම් ද?
ඔවු.. කිසියම් අසරණ බවකින් මෙන්.. ඇය පැවසුවා.. 
එවන් දේකට යොමු වීම ඔබේ දරුවන්ට... සැමියා ට කරන අසාධාරණයක් නොවේ ද?
මං එයාලා වෙනුවෙන් ආපහු යන්නනෙ එහෙම කරන්නෙ.. 
ආපසු ගිහින්..?
මං එයාලට කියලා දෙනවා.. මරණයට පෙර සූදානම ගැන.. මමත් සූදානම් වෙනවා.. 
මේ රමණයෙන් වින්දනයක් ලබන්ට ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
රමණයෙන් ලැබෙන වින්දනය තාවකාලිකයි නේද? ඊට වඩා මට වටින්නෙ
මරණයට වන සූදානම..

ඒ සඳහා ඕනම කැප කිරීමක් කරන්න සූදානම්..?
ඔවු ඉතිං.. එහෙම නොවුණොත්.. ඉරණම ඊට වඩා නරක් වෙන්න පුළුවනි නෙ..
එන්න යං..
ඔවුන් යන්නට පටං ගත්තේ.. පළමු කාන්තාව ගිය මඟෙහි ම වීම.. දෙවැනි කාන්තාවට මහත් ගැටළුවක් විය.. 
මුකුත් හිතන්ට එපා.. ඔයාටත් දැං සංසාර බිය දැනිලා නේද තියෙන්නෙ..? අපි අභියෝග බාර ගන්න ඕන.. සමහර වෙලාවට අපට විකල්ප නෑ.. විශ්වාස කෙනෙක්ව විශ්වාස කරන්න වෙනවා..

Tuesday, May 12, 2015

පෑන, නුඹ හා මම

මගේ කුටියෙන් 
නුඹ අරං ගිය
පෑනකින් ලියු
මගෙන් නාසා...
ගොඩ ගැසී ඇත
අඳුරු මුල්ලක
එවූ ලිපි මාසයක්
පාසා...

ජය ලබා රට
නොරට ගොස් ඇත
පෑන නුඹ හා
නැතිව වීසා..

දුක් විඳිමි මම
මට අහිමි වූ
පෑන ගැන
වඩවමින් ආසා..

Sunday, May 10, 2015

සුසර කරනු මැන හදවත හැමදේ හුරුවන්නට



අපි හැමගෙම සතුට නමින් කරගැට ..........පීදිච්චි
ඔය අත් දෙක රිදෙනවාද දැන් මයෙ ........අප්පච්චි
ගත වයසට ගිය වේගය වැඩි වගෙ ........තේරිච්චි
හිතට දුකයි ඒත් ලෝක දහම .........මේක වෙච්චි
මගේ ඇහින් ලොව දකින්න කෙරුවත් නුඹ ආලේ
අපි දෙන්නට හරස් වෙයිද අපි දෙන්නගෙ ..කාලේ
ලංකාවෙම කප් ගැහුවත් ඉලංදාරි .............බාලේ
හැංදෑවට කලුවරමයි උරුම හැබෑ .............තාලේ
සසර දිගයි සිදු වෙනවා ඇති දේ ...........ඉවසන්නට
වසර වසර ගෙවෙනායුරු හැකි වෙද .....සමරන්නට
සුසර කරන් හදවත හැම දේටම ......හුරු වෙන්නට
හසර ඉඩ ලබනු මැන හැකිනම් භව .... ජයගන්නට

පසුගිය අප්‍රියෙල් 21වන දිනට යෙදුණු මාගේ ආදරණීය අප්පච්චිගේ 72වැනි ජන්ම දිනය දා ලියන ලද්දකි..

Friday, May 8, 2015

මිය යන්නෙමි ආදරේ මතින්...

සුවඳ මලක් ගෙන නැහැයට ලං කර බලනා ඔබ රුව මවමි ...සිතින්
සුළඟට ඉඩදී මා හැර යන්නට අතීතයට පිය මනිමි ..............ඉතින්
හිරු සඳ හමුවේ වුව අපරාජිත කැලුම් පෙරූ රත්තරන් ......නෙතින්
හෙළු එක් කඳුළක් ඇති මට සතුටින් මිය යන්නට ආදරේ ...මතින්
ඉස්සර කාලෙක ඔබ මා තුරුළුව මැවු සුරතල් ඒ ..................අනාගතේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ පැතුම් මියෙන්නෑ ...........හිතූ මතේ
තිස්සෙම සිහිවෙන එක නම් නුහුරුයි නැහැ දැන් පෙර තෙත තිබූ සිතේ
මා ගැනවත් නිච්චියක් නැතත් මට, ඔබ කොට්ටය ළඟ තවත් .....ඇතේ