Monday, March 30, 2015

බැරිදා විග්‍රහය..! මට නං පිස්සු වගේ..

මහින්ද උන්නැහේ.. ජනපතිවරණය මෙවුවා කොළාත් හරිය.. අපේ එවුන්ට නිච්චි නිනවු නැති ගානය.. රෝ ඔත්තු සේවයත් බටහිර රටවලුත් එක්කහු වෙලා කොරපු කුමන්ත්‍රණය සුළු පටු නොවන බව තේරෙන්නේ දැන් ය..

එක්කෝ මහින්දට බනිනවාය.. නැත්තං රනිල් ට බනිනවාය.. එහෙමත් නැත්තං මෛත්‍රීට බනිනවාය... අඩුපාඩුවට.. නාමල්ට, බැසිල්ට, ගෝඨාට වගේ ම.. විමලට, ගම්මන්පිලට, ජොනියට, ඇස්.බී ට, පවිත්‍රාට, අඛිලට, රවීට, බුද්ධිකට, චම්පිකට, සෝභිත හාංදුරුවන්ට එහෙමත් බනිනවාය.. ඔය අස්සෙ.. කොට්ටක් පනින්ට ගිහිං හෝ වෙනත් කෙරුවාවකට ගිහිං.. පොරෝ පාරක් කාලා වැලි රාජු මළ එකටත් ආණ්ඩුව  ට  බනිනවා ය.. පොරෝ පාර ගහපු එකා පොලීසි අල්ලං ගිය එකට.. පහු වුණු ආණ්ඩුවට බනිනවාය..

මං හිතුවේ.. ඡන්දෙන් පස්සෙ සංහිඳියාව ඇතිවෙයි කියලාය.. ගෙදර ගිය මහින්ද ගෙදර ගොහිං.. ජේ.ආර්, විජේතුංග, චන්ද්‍රිකා උන්නු හැටියට හිටියා නං.. එහෙම වෙන්ටත් තිබුණාය.. එහෙත් හොරු අල්ලන කේස් එකෙන් ඔක්කොම අවුල් ජාලයක් උනාය..

ඒ මෙහෙම ය.. හොරු අල්ලන්ට ආණ්ඩු බලය ඕනෑ ය.. ආණ්ඩු බලය  ගන්නට තිබුණු ආණ්ඩුවේ සපෝට් එක ඕනෑ ය... සපෝට් එක ගන්නට දොල පිදේනි ඕනෑය.. ඒවා ඇමතිකම් හා වරප්‍රසාද හෝ ඊටත් වෙනස් දෙයක් වෙන්ට පුළුවන්ය.. දැං ආයෙත් හොරු අලුත් ආණ්ඩුවේය..

රවී ගේ අය වැය කිසි කමකට නෑ ය.. අඛිලගේ වැඩත් කිසි පිළිවෙලක් නෑ ය.. ජෝන්ගේ කල් මැරිල්ලත් වැඩකට නෑ ය..පාඨලී ගේ ත් මොළේ හොඳ නෑය.. මෛත්‍රීත් හිතපු තරම් දෙයක් කරන්නේ නෑ ය.. රනිල් ගේ පර්සනලිටි එකක් නෑ..ය.. 
නටපු තොවිලෙකුත් නෑ ය.. බෙරේ පලුවකුත් නෑ ය..  ඒත් මහින්ද නම්.. ඕනෑම නෑ ය..

ඇෆ්. බී එන්ටත් එපා වෙනවාය.. හැම උන්දැම කාට හරි බනිනවාය.. බැනලා රටකට හරි යන්නෙ නෑ ය.. රටකට ඕනෑ අපමණ අගයක් ය.. ඒ ඕනෑකම වෙනස් වෙන්නේ ම නෑ ය.. මේක ගන්ධබ්බ කාලයක් ය.. හොඳම හරිය ඒ කාලය නිම උනාම ය..එක රැයින් එලි වෙන්නෙ නෑ ය.. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට ය..  






Wednesday, March 11, 2015

බැරිදා විග්‍රහය ! නව රජය හා නව අභියෝග

ජනපතිවරණය හමාර වී.. නව ජනපති.. සහ නව ආණ්ඩුව යටතේ දින හැටකට ආසන්න කාලයක් ගෙවී හමාරය..  මෙම ගෙවුණු දින හැට තුළ මෛත්‍රී ට ඡන්දය දුන් අයගෙන් සැලකිය යුතු පිරිසක් වෙසෙන්නේ තරමක කනස්සල්ලකිනි.. 

එයට හේතු වශයෙන්... 
1. නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී වීම.
2. දූෂිත නිලධාරීන් තවමත් යහතින් වැජඹීම
3. අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීම
4. මෛත්‍රී ගේ හයිය අරගනිමින් රනිල් චන්ඩියා වී සිටීම හා බහුතරයක් නැති පක්ෂයක් ආණ්ඩු කළ ද, ආණ්ඩුවේ අය හෙණ ගැම්මෙන් සිටීම.
5. මෙම ආණ්ඩුවද පරණ පාරේ ම යතැයි සිතීම.
6. පසුගිය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් අඩාල වීම හෝ නැවතීම.
7. ඉහත කරුණු සියල්ල හා ජාතිවාදය අවුස්සමින් බයියන් නිරන්තරයෙන් නඟන පුහු තර්ක වලත් සත්‍යයක් ඇතැයි සිතීම..

ආදිය දැක්විය හැක..

එහෙත්.. ජනවාරි අට වැනිදාට පෙර.. අප සිටි තත්වය ... හා සසඳන විට රටක් ලෙස ජනතාවක් ලෙස ලබා ඇත්තේ අති විශාල ප්‍රගතියක් බව මගේ අදහසයි.. 
ඒ මෙසේය..
1. හෙමින් වුවත්.. නීතිය සාපේක්ෂ වශයෙන් සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනේ..
2. ඇතැම් දූෂිත නිලධාරීන් තවමත්.. ඇතැම් රජයේ ආයතන වල සිය බලය පතුරුවාගෙන සිටිනවා වුවද.. හුදු ඔලුගෙඩි මාරුවට.. ප්‍රධානත්වයක් නොදී.. නිවැරදි යාන්ත්‍රණයක් සකස් කිරීමේ ක්‍රියා පටිපාටියක් බිහි කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා දේශපාලනමය වටපිටාවක් සකස් කිරීමට රජය යොමුව ඇතැයි පෙනේ.. සම්පූර්ණයෙන්ම කුණු වූ යාන්ත්‍රණයක්.. තිබෙන සම්පත් ඇසුරෙන්ම 100% ක් කාර්යක්ෂම කිරීමට වඩා ශරීරයේ හැම අවයවයක්ම කුණු වූ මිනිසෙකු .. කිසිදු අවයව බද්ධයකින් තොරව සුව කිරීම පහසු වනු ඇත..
3.  අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීමද යාන්ත්‍රණය පිළිබඳ ගැටළුවකි. මෙම ගැටළුවට පිළිතුරු සෙවීම කෙසේ වෙතත්.. මින් ඉදිරියටවත්.. ආණ්ඩුව ඉදිරිපත් කරණ සියළු ප්‍රතිසංස්කරණයන්.. ජනතාව වෙත සම්ප්‍රේෂණය වීමේ ක්‍රම වේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.. ඒ සඳහා ප්‍රායෝගික කමිටු වාර්තාවක් අවශ්‍ය බව මගේ වැටහීමයි..

4. මෛත්‍රී ඡන්දය ඉල්ලුවේ තමා ජනපති වූ පසු රනිල්ගේ අගමැති කම යටතේ.. නව ආණ්ඩුවක් පිහිටුවන බවත්... ඒකාධිපති පාලනය හමාර කරන බවත් කියමිනි..  එකී පොරොන්දු දෙකම මෛත්‍රී ඉටු කර ඇති අතර.. ජනපතිවරයා සියල්ලේ බලය හැසිරවූ යුගයක් අවසානයේ සිටින ඇතැම් අයට වත්මන් ක්‍රමයේදී.. මෛත්‍රී ගේ බලතල රනිල් පාවිච්චි කරනවා වගේ දැනීම ඒ කාලයේ ගණිතයේ දී අප උගත් දුස්‍රාවිතා සංකල්පයමයැයි මට සිතේ..

5. අලුත්.. ජනපතිවරයෙක්.. අලුත් .. අගමැතිවරයෙක්.. අලුත්.. ඇමති මණ්ඩලයක්.. අලුත්.. විපක්ෂ නායක වරයෙක්.. අලුත් විපක්ෂයක් සිටින බව හැබෑ වුවත්.. මැති සබය.. පරණ එකමය.. නිලධාරීන් පරණ අයමය.. ඒ තබා.. ජනතාව ද පරණ අයම ය.. අලුත් පාරක යන්නට කොතෙක් උත්සාහ කළත්.. පරණ පාරේ යාමට ඉබේ ම සැලකිය යුතු තල්ලුවක් ලැබීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියකි.. එය ද පෙර කී දුස්‍රාවිතා සංකල්පයම නොවේද?

6. පසුගිය රජය මඟින් ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයකම මූලික අධ්‍යයනයන් හා විගනනයන් නිසි පරිදි සිදු නොකර තිබීම සහ විවිධ අක්‍රමිකතාවයන් සිදුව තිබීම නිසා.. ඒ පිළිබඳ යම් පමණක හෝ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඇතැම් ව්‍යාපෘති අත්හිටුවන්නට හෝ අඩාල කරන්නට සිදු වීම අරුමයක් නොවේ.. එහෙත් මෙම අධ්‍යයනයන් ඉක්මණින් සිදු කර.. එම ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තීරණයකට එළැඹීම.. එකී ව්‍යාපෘති වලින් අවම පාඩුවක් සලසා ගැනීම සඳහා වැදගත් වනු ඇත.. 

7. බයියන් ගේ වේදනාවට මොනවා කීවද.. සත්‍යයට බයියන් බොහෝ දුර බැවු අප තේරුම් ගත යුතුය.. මෛත්‍රී ජනපති නිසා අපරටට මේ මාස දෙකට ඉතිරි වූ මුදල.. කෝටි ගනණක් බව නොකිවමනා ය.. එක පවුලකට නතුව තිබූ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලය.. ඉතාමත්ම සුවිශේෂී ලෙස ස්වාධීන ස්වරූපයක් ගැනීම ම අතිශයින් සතුටුදායකය.. එකී පවුල වටා සහ ඔවුන්ගේ ගෝල බාලයන් වටා බිහි වී තිබූ සුපිරි ධන-බල සංස්කෘතිය සැලකිය යුතු මට්ටමින් කඩා බිඳ දැමීම නිර්ධන-නිර්බල සංස්කෘතියේ හිමිකාරයින් වූ අප .. ලැබූ සුවිශේෂී ම ජයග්‍රහණයයි.. බයියන්ට හෝ ටොයියන්ට.. හොරකම් කිරීමට ඉඩක් නැති යාන්ත්‍රණයක් සකස් කරණ අතර තුර ම.. සමස්ථ රටවාසීන්ගේ වංකත්වය පරාජය කිරීම අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි..