Friday, September 28, 2012

පුංචි පුතුට ලෝකයක්..


මගෙ පුතේ..
උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි..

අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, 
ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව, 
පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව, 
මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා දැනුණත්.. ඒ කාටවත් වෛර කරන්නෙ නැතිව,
කාට හරි දුකක් කරදරයක් වුණාම.. අනේ අපොයි කියලා හෙමීට මාරු වෙන්නෙ නැතිව, 
ජීවත් වීමේ අරමුණ.. සල්ලි වලට වත්.. මත්ද්‍රව්‍ය වලටවත්.. සූදුවටවත් උකස් කරන්නෙ නැතිව,
තමන්ගෙන් සමාජයට විය යුතු දෑ නොසිතා.. සමාජයෙන් තමාට හිමිවිය යුතු දෑ හොයන්නේ නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔබට කියාදෙන එක ලේසි නැති වෙයි.. 

ඒත්..

අලුත් වෙන ලෝකයේ.. අලුත් අලුත් ප්‍රවණතාත් එක්ක.. අලුත් විදිහෙ යාළුවොත් එක්ක උඹ අලුත් මිනිහෙක් වෙයි.. කාලයක් ගිහිං හරි.. උඹ අලුතිං මොනවා හරි හොයා ගනියි..ඊටත් පස්සෙ ඒ අලුත් දේ උඹ හිතන තරං අලුත් නෑ කියලා උඹට තේරෙයි.. 

පුතේ..

උඹ අලුත් වෙන එකට මං එපා කියන්නේ නෑ.. පුළුවන් නං අලුත් වෙන්න කළියෙං හිතපං .. උඹ අලුත් වෙන්න ඕන ඇයි කියලා.. උඹේ අප්පච්චි අලුත් උනේ නැත්තෙ ඇයි කියලා..කොච්චර අලුත් උනත් කමක් නෑ.. මනුස්සකම අමතක වෙච්ච මිනිහෙක් වෙන්න එපා.. මනුස්සකම තියෙන අන්තිම එකා උඹ උනත්.. උඹ මැරෙණකං වත් මනුස්සකම රැකහං..  

මේ අහපං..

මිනිස්සු කියන්නේ හෝමෝ සේපියන් කියන යන්තරයට නෙවෙයි.. උන්ට හිතක් පපුවක් තියෙනවා.. දුක.. සතුට දැනෙනවා.. උන්ට විළිසංගෙ තියෙනවා.. බොරු කියන්ට ලැජ්ජයි.. මිනී මරන්ට ලැජ්ජයි.. සූදු කෙළින්ට ලැජ්ජයි.. කොටිංම.. පවු කරන්ට ලැජ්ජයි.. ලැජ්ජයි විතරක් නෙවෙයි.. බයයි.. 

මං දන්නවා..

හෙට ලෝකයක් තිවුණොත්.. උඹට මාව තේරුං ගන්ට පුළුහං උනොත්.. බුදුංගෙ සරණිං.. මගේ පුතාට මිනිහෙක් වගේ පොළවේ.. පය ගහලා ඉන්ට පුළුහං වෙයි..

පුතුනි නොදනිම්
තිබේදැයි හෙට
නුඹට ඉන්නට 
ලෝකයක්..
එසේ තිබුණොත්
බලං ඉන්නෙමි
නුඹෙන් මම
මිනිසත් කමක්..
පුතේ දවසක
හිතට දැනුණත්
ලොවේ නුඹ 


අසරණ බවක්..
හිතේ දිරි ගෙන
දරා ඉනු මැන
නොදෙනු මට
අවමානයක්..




Thursday, September 20, 2012

මරණය කලිං දැනෙනවාද..?

මෙය මට විටින් විට ඇසූ කතා නිසා ඇතිවූ ප්‍රශ්නයකි..

මීට අවුරුදු එක හමාරකට පමණ පෙර දවසක.. අපි අපේ ඥාතියෙකු අසනීප වී සිටි නිසා ඔහු බැලීමටම වඩා සිංහල අලුත් අවුරුදු කාලෙට යන අවුරුදු ගමනක් ලෙසින් ඔහුගේ නිවහනට ගොඩ වීමු... ඔහුව රෝහලට ගෙන යන ලෙස ඔහු අපට බැගෑපත් විය.. එහෙත් ඔහුගේ දූ දරුවන් කීවේ.. මීට පෙරත් ඔහු නිතරම එසේ කියන බවත්.. ඔවුන් එසේ රෝහල ට රැගෙන ගිය විට පහුවදා ටිකට් කපන බවත්.. මෙය මොහුගේ හිතේ ලෙඩක් බවත්ය.. එනිසා ඔහුට ඇහුම්කන් නොදෙන ලෙස අපට අවවාද ලැබිණි.. පහුවදා කැළණි පන්සලට යන්නට අවශ්‍ය බව ඔහු කියා තිබේ.. ඔය තරම් අමාරුනම් යන්නේ කොහොමදැයි ඇසූ විට ඔහු තනිවම දෙපයින් සිටගෙන ඔහුට ගමන යා හැකි බව පවසා ඇත.. එහෙයින්ම ඔහුගේ දරුවෝ.. ඔහුව කැළණි පන්සල කරා රැගෙන ගියෝය.. වාහනයේ සිටම කැළණියට නමස්කාර කර ඇති හේ, මේ බුදුන් වැඩි තැනක් නේදැයි පවසා ඇත්තේ ඉතා සතුටිනි.. කැළණි ගොස් ගෙදර ආවේ ඔහුගේ මළ කඳය.. ඔහුට මරණය දැනුණාදැයි විටෙක අපට සිතුණි..

අපේ අප්පච්චි මට මතක කාලයේ සිට.. වයස 49 පසු කරන තෙක්ම.. ඔහු 49න් මිය යන බව තරයේ විශ්වාස කළේය.. එය ඔහු හැම තැනකදීම වාගේ කීවේය.. එයට තිබුණු එකම පදනම ඔහුගේ පියා (අපේ සීයා) වයස 49දී මිය යාමයි.. ඊට පසු ඔහුගේ බාල සොහොයුරෙකු හා සොයුරියක ද ඒ වයස ආසන්නයේදී මිය ගියෝය.. එහෙත් තෙරුවන් සරණින් අප්පච්චීට දැන් වයස 69කි.. ඔහු නිතරම මරණය මෙනෙහි කරන නිසා මරණය ඔහු අසලට ඉක්මණින් නොඑන බව ඇතැමුන් කියනු මම අසා ඇත්තෙමි..

මම ද අවුරුදු 55 ආසන්නයේ දී මිය යනු ඇතැයි මට නිතරම සිතේ.. මගේ ජීවිතේ බොහෝ දෑ සැලසුම් වෙද්දී.. එම අනුමාන වයස යොදන්නට මම අමතක නොකරමි..එම වයස වන විට.. මගේ දුව හා පුතු අවුරුදු 20 ඉක්මවා සිටින බව සිතීමෙන්ම මම සැහැල්ලුවක් ලබමි.. බොහෝ දෙනෙකු මොටෝ සයිකලය පදින්නට එපා කීවත්.. දැන්ම මා නොමැරෙන බවට ඇති විශ්වාසය මත එම අදහස ඉවත දමමි.. ඒ සිතුවිල්ලට කිසිම පදනමක් නැති වුණත්.. මට දැනෙන දේ මම විශ්වාස කරමි..


මරණය ඉතා ආසන්න බව දැනුණාදෝයි හිතෙන.. අපූරු බ්ලොග් පෝස්ටුවක් දිටිමි.. මෙය ඔබ බොහෝ දෙනා දැක තිබෙන්නට පුළුවන.. එහෙත් එසේ නොදැක්කේ නම් නොවරදවාම ගිහිං බලන්න.. එය මිය යන්නට දින 4කට කලිං මරණය සිහි කරමින් පෝස්ටුවක්  ලියූ කුමුදු පිංතු මහතාගේ තම තම නැණ පමණින් බ්ලොගයයි..

"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"
මේ එම බ්ලොග් ලිපියේ අගට එතුමා එකතු කරලා තිබුණු වදන්.. පුදුමයි නේද?


Wednesday, September 19, 2012

෴෴මා නැඟි කන්ද අහවර බව මට තේරේ෴෴



දෙනෙතින් කඳුළු, මුවඟින් මදහස -----------බේරේ
සිත් මල ඔකඳ වී දරු සෙනෙහස ------------මේරේ
මනමාලියක වී දියණිය ගිය ------------------පාරේ
මා නැඟි කන්ද අහවර බව මට ------------- තේරේ

නුඹෙ නව සොඳුරු නිවහන වෙත පිය -------මනින
දිනයෙදි සුදු දුවේ තව සුරතල් --------------වෙමින
මුදවා කඳුළු යළි නිසි සිහියට -------------- පැමිණ
නොලසා අසනු මැන පිය හිමි බස ---------සොඳින

ඔහු මව දකිනු නුඹ මවටත් වැඩිය --------- පෙමින්
දින දින ඔහු පතන විළසට පුරුදු -----------වෙමින්
නොදොඩනු මැනවි උරණව කිසි කලෙක- නොමින්
සැනසෙනු උරුම සෙනෙහස දරු කැළට --- දෙමින්

තරහා නොවෙමි නාවට මා --------------බලන්නට
කිසිදා නො එමි අයිතිය ගැන ----------- කියන්නට
මතුදා දිනෙක ඉස්සර මා ---------------මියෙන්නට
සිරිපා පුදනු මවගේ පවු -------------- ගෙවෙන්නට

Monday, September 17, 2012

තමන් කවුරුද සොයනු මැනවී..

කිසිවක් නොදන්නා
මහදැනමුත්තො ඉන්නා
පචම හලමින්නා
මුළු රටම පටලවාලන්නා

අනුනට වද දිදී
තම සුවයටම බරදී
කාටත් ඉඩ නොදී
කරයි හැමවිට වැඩම වැරදී

දහමට ගරහනා
පස් පවු නිබඳ කරනා
සැමට දොස් නඟනා
තවත් අය වෙති මෙලොව සරනා

ගුණදම් සුරකිනා
මිනිසත් දහම රකිනා
සැමසිත් පහදනා
සුසිත් මිනිසුන් එමට වෙසෙනා

තමන් දන්නා දේ
සැමට නිති පහදා දේ
යුතුකම් වල බැඳේ
එවන් මිනිසුන් ලොවට සුවදේ

කියවා මෙම කවී
මා හා නොම තරහ වී
සිතා පසෙකට වී
තමා කවුරුද සොයනු මැනවී..


Saturday, September 15, 2012

බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..

ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමාජවාදී ජනරජයකි.. අනේ ඒ වුණාට.. හැම තැනම ඕක උල්ලංගනය වෙයි.. මට තේරෙන හැටියට පජාතන්තරවාදය කියලා කියන්නේ.. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්න එකටයි.. ඒත් ඉතිං .. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද..? මිනිස්සුන්ට හපං නොවැ අද ආගමික ඉස්තාන..

අපේ බුද්දාගමේ පංසල් වල උදේට කණ පැළෙන්ට පිරිත් දානවා.. හැන්දෑවට කණ පැළෙන්ට බෝදි පූජා තියනවා.. ඒ විතරක් නම් මදෑ.. සමහර කාල වල දවල් තිස්සෙත් පිරිත් දානවා රටටම ඇහෙන්ට..

ඇයි මේ බුද්දාගමේ අපටම එපා වෙන දේවල් කරන්නේ.. පංසලක නම් පංසලක වපසරිය ඇතුලෙ විතරක් ඇහෙන්ට නොදා යකඩ කටිං මුළු ලෝකෙටම කියන්ට ගිහිං පිරිත හෑල්ලු කරන්නේ ඇයි..?

දවසක් මගේ අප්පච්චිත් එක්ක ඉස්පිරිතාලෙට ගිහිං එන අතරේ බස් එකට නගින්ට කියලා ටවුන්හෝල් එක ඉස්සරහා බලං හිටියා.. කන් දෙකේ ගහන්න ඇබ දෙකක් නොගෙනාපු මෝඩකම් කියලා හිතුණා.. එතන තිබුණු මුස්ලිම් පල්ලියක එයාලගේ ආගම සිහිකරණ වාක්‍ය වගයක් මහ හඬින් කියන්න ගත්තා..

සතුටුයි කියන්න.. හින්දු ආගමිකයන්ගෙන් මෙහෙම අනික් අයට මෙහෙම හිරිහැර වෙනවා මම දැකලා නෑ.. එයාලගෙ චාරිත්‍රානුකූල පෙරහැරවල්, අවුරුදු කාලෙට ගෙන් ගෙට එන (කාමං කුත්තු) කුඩා කණ්ඩායම් වලින් වුණත් අනික් අයට වෙන කරදරය අවමයි..

ඒත් අපේ පෙරහැරවල් පාරවල් වහගෙන හැතැක්ම ගනං වාහන පෝලිං හැදෙන විදිහට නොවැ තියෙන්නේ..


සද්ද දූසනය කියලා කියන්නෙත් අර උඩිං කියපු  දේවල් වලටමයි නේද? ඔන්න ඉතිං කියාවි.. පිරිතෙන් සද්ද දූසනය වෙන්නෙ නෑ.. ඒක හොඳ මිහිරි සද්දයක්ය කියලා.. ඒක කෙසේ වෙතත්.. ඒ මිහිරි සද්දය උනත්.. අහන්න තීරණය කරන අයට, එසේ තීරණය කරන වෙලාවට විතරක් අහන්ට තිබුණොත් තමයි හොඳ..

Friday, September 14, 2012

භව ගමනක සිහිනය (4)


තුන්වැනි කොටසට

ඊයෙ මං මහ අමුතු හීනයක් දැක්කනේ..
කුස්සියේ උය උයා උන්නු මගේ අම්මයි, බිරිඳයි හා කතාවට වැටෙමින් මං කිවුවා..
***************************************************************

ඕක භව දෙක තුනක කතාවක් වගේ.. නේද?
අතීතය මතක් වෙනවද දන්නෙ නෑ..
එතකොට පුතා පෙර ආත්මෙ ඉඳං අපිත් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයිද?
කෙල්ලට මොකක් හරි නරකක් වෙයිද දන්නෑ..

ඔය ආකාරයටයි.. මගේ බිරිඳගේ ප්‍රතිචාර..

අපේ ආච්චි නං ... නැගිට්ට ගමං.. රෙද්දකිං ඔලුව වහගෙන කාටවත් නොපෙනෙන්න ගිහිං පැඟිරි ගහකට හීනය කියනවා..

ඒ අපේ අම්මගේ ප්‍රතිචාරය..

***************************************************************
ඇත්තටම  මට පරණ භව වල මතකයක් ආවද..?
මගේ හිතේ තිබුණු දේවල් ම හීනයක් විදිහට පෙනුණද?
නිකම්ම නිකං හීනයක් විතරද?

මගේ දුව.. පෙර ආත්මෙ තංගමනී ද..? එහෙම වෙන්නත් පුළුවන්..
එතකොට සූරිය ආරච්චි මහත්තයා දීපු පණිවුඩේ....!
හිතට මුලා වෙන්න එපා.. ඒක හුඟක් වැදගත් උපදෙසක්.. විශේෂයෙන් තමන් යම් යම් දේ වලින් ආවරණය වෙලා තියෙන වෙලාවට.. උමඟෙන් සංඛේතවත් කළේ.. අපේ හිතද..? නැත්නම් සිතුව්ලි ද? තීන්දු තීරණ ද?..
සූරිය ආරච්චි මහත්තයා එක එක චරිත වලින් මතු වුණේ ඇයි..? මුල් චරිත දෙකේ උසස් මට්ටමේ ජීවිත ගෙවූ ඔහු අවසන් චරිතයේ.. දුර්වල චරිතයක් වුණේ ඇයි.. ? එතනින් පෙනෙන්නේ... මොන වගේ දෙයක් ද..? භවයේ සැරි සරද්දී.. චරිත වලට වන වෙනස ද?

මේ වගේ අදහස් ගනණාවක් මගේ හිතේ ඇති වුණා..

මං තීරණය කළා මේක ඔබ හමුවේ තියන්න..

***************************************************************
හීනේ කියන්න පටං ගත්ත ගමං

හුඟක් අයට ප්‍රශ්නයක් උනේ උමඟ.. DDT මල්ලිට තමයි වැඩියෙන්ම එහෙම උනේ..
අපේ.. හිරුයි, හිරු හිමාවියි නං.. අනේ මන්දා.. අනේ මන්දා.. කිය කියා අහගෙන හිටියා.. චන්දි අක්කට ගල්කිස්සෙ පාලමක් මතක් වුණත්.. සූරිය ආරච්චි මහත්තයාගේ අවවාදය ගැන නම් මොනවා හරි තේරුණා වගෙයි පෙනුණේ.. දුකාටත් උමඟ ගැන තමයි අවුල ඇවිත් තියෙන්නේ..
කතාවේ මැද හරියට එද්දී

DDT මල්ලිට.. කතාව ලහිරු පෙරේරාගේ සිංදුවක් තරම් රසවත්ව දැනෙන්න ගත්තා....
මාතලන්ට නං රසයක් දැනිලා තිබුණා..

හීනේ ඉවර වුණාම..
DDT මල්ලිට හරි සතුටක් දැනුණා.. මට හීනෙන්ම පිස්සු නොහැදුණු එක ගැන..
හසිත ගෙයි හිරු ගෙයි ඔළුව මඤ්ඤං වුණු බවකුයි පේන්න තිබුණේ..
හිරු හිමාවියි, යසිරුයි  දෙන්නා කතාව රස වින්ද බවකුයි... පෙනුණේ..

නිමි..

ප.ලි.
මේක ඇත්තටම මං දැක්ක හීනයක්.. කතාවට පුංච්.. පුංචි වෙනස් කම් ටිකක් කළා..



Wednesday, September 12, 2012

භව ගමනක සිහිනය (3)



දෙවැනි කොටසට

ආයෙමත් හැන්දෑවක.. මං මගේ බිරිඳයි මගේ දුවයි එක්ක ඇවිදින්ට යනවා.. ඒක ටිකක් පාළු, ගුරු පාරක්.. රබර් ගස් පාර දෙපැත්තෙන්.. දන්න අඳුනන කෙනෙක් ඉස්සරහට එනවා..

ආ.. මොහොමඩ්.. කොහොමද? මොකද ඔය කට ඉදිමිලා..

මොකද දන්නෙ නේ.. මාතියා.. වෙද මාතියා ඉන්ජෙක්ෂන් එක තමා ගානවා කීවා..

ඉන්ජෙක්ෂන්..!

හොඳයි.. අපි ගිහිං එන්නම්..

වෙද මහත්තුරු ඉන්ජෙක්ෂන් ගහනවද? මගේ පුංචි දුවගෙන් ප්‍රශ්නයක්..
හ්ම්.. දැං ඉන්නවනේ ඉංග්‍රීසි වෙදකමත් දන්න වෙද මහත්තුරු.. එහෙම කෙනෙක් වෙන්න ඇති..

ආයෙත් අර උමඟ..

මොහොමඩ්ගෙ මූණ මට ආයෙත් මැවිලා පෙනුණා.. සූරිය ආරච්චි මහත්තයා.. ඒ මොහොමඩ්ම නේද?

මතකද අපි තුන් දෙනා ජීප් එකක නැඟලා මෙතැනින් ගියා.. අප්පච්චි තමයි ජීප් එක එලෙවුවෙ.. අම්මා මේ පැත්තෙ වාඩි වෙලා ගියා.. පුංචි කෙල්ල තොර තෝංචියක් නැතුව කියවනවා..

සූරිය ආරච්චි මහත්තයාගෙ අවවාදය..

මොනවද මේ විකාර කියවන්නෙ.. ඕක නවත්තන්න .. පොඩි එකීට මගෙන් අණක්..

මොන අණ ද.. කෙල්ල දැං බඩ අල්ලගෙන හිනා වෙනවා.. ආයෙමත් අඬනවා.. හූ කියනවා.. මට හීං දාඩිය දැම්මා.. ඇයි මට මුලින්ම දුවව නවත්තන්න බැරි වුණේ.. මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා... කෙල්ල පරල වෙලා..
දුවේ.. දුවේ.. චූටි දුවේ..
අනේ මගෙ දුවේ.. මගෙ බිරිඳත් විළාප තියන්න ගත්තා..

මගෙත් හදවත නවතින්න යනවා වගේ..

ඕකනේ මම කිවුවේ.. !

සූරිය ආරච්චි මහත්තයා.. එහෙම කියලා.. නොපෙනී ගියා..

මං ගිරිය යටින් කෑ නොගහපු ටික විතරයි.. පපුව ගැහෙන වේගය හොඳටම වැඩි වුණා..

මට ඇහැරුණා..! 


මතු සම්බන්ධයි..

Sunday, September 9, 2012

භව ගමනක සිහිනය 2

පළමු කොටසට
මං මගේ බිරිඳත් එක්ක ගමනක් යනවා.. ජීප් රථයක නැඟලා.. හදිසියේ ගැහැණු කෙනෙක් වාහනයට අත දැම්මා..

මාත්තියා මාව වෙදමාතියා ගාවට එක්ක යන්න.. දෙමළ කාන්තාවගෙන් ආයාචනයක්.. ඇය තරමක අසනීපයෙන් සිටි බවකුයි පෙනුණේ.. දරුණු උණක් ඇයට වැළඳිලා තිබුණා.. ඇයට ජීප් රථයේ පිටුපසින් නඟින්න කිවුවා.. ඇය අප දෙස බැලුවේ, අප හා කතා කළේ බොහොම හිතවත්ව.. ලෙංගතුව... ඇයගේ නම තංගමනී.. ජීප් රථයේ යද්දිත් හම්බ වුණා අර උමඟ... ඒක කොහොමද මෙතැනට ආවේ.. සිතුවිලි දිගින් දිගටම හිතෙන්න ගත්තා.. මට මතක් වුණේ සූරිය ආරච්චි මහත්තයාගේ ඔවදන..


ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..
තංගමනී මේ ළඟමද? හනිකට ඇයගෙන් පැනයක් ඇසුවේ.. ඇයවත්, මගේ බිරිඳවත් දැහැනින් මුදවා ගන්ටයි..

අප තංගමනීව වෙද මහත්තයා ලඟට එක්ක ගියා..වෙද මහත්තයා හිටියේ මිදුලේ... පුදුමයක්.. මේ ඉන්නෙ සූරිය ආරච්චි මහත්තයා නේ..

මං වාහනේ නවත්තලා එතුමා වෙතට ගියා.. මෙයා මට හම්බ වුණේ කොයි කාලෙද..? මට නිනවු නෑ.. එච්චර කාලයක් ගිහිල්ලත්.. ඉස්සර වගේමයි.. අනේ මන්දා..? අර අද්භූත වැඩ කර කර හිටිය මනුස්සයා.. වෙද මහත්තයෙක් වුණේ කොහොමද..?

වෙදමහත්තයාගෙ නම සුරිය ආරච්චි ද?
අනේ නෑ මහත්තයෝ.. මගෙ නම මුදියාන්සෙ..
හ්ම්..
මං නිහඬවම ජීප් රියට ගොඩ වුණා..

ඔයා ඒ වෙද මහත්තයාව අඳුණනවාද? බිරිඳ ගේ පැනයට.. දෙන පිළිතුර මොකක්ද කියලා මට හිතාගන්ට බැරි වුණ නිසා මං නිහඬවම හිටියා..


මතු සම්බන්ධයි..

Thursday, September 6, 2012

෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴




සහසක් පෙරුම් දම් පුරලා නුඹ           මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ    ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි       සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි        ඇත්තේ

හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින්      මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන     සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා          නෙතූ

වයසින් වැඩෙයි මෝරයි දැනුමද            යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන්               බසට
මනසින් උසස් යහපත් දරුවෙකු          ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන               රටට

පස් වැනි උපන් දිනයට අද දින          යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි      නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි       සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි     කරන

අපගේ ආදරණීය දියණියගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් රචිත කවි පෙළකි..

Monday, September 3, 2012

භව ගමනක සිහිනය 1

සූරිය ආරච්චි  මහත්තයා මට හමු වුණේ දවසක හැන්දෑවක අසිරිය බලන්න මුහුදු වෙරළක ඉන්නැද්දී.. එතුමා බොහොම සරලව සැහැල්ලුවෙන් හැඳ පැළඳගෙන මාත් එක්ක සිනාමුසුව ඒ හැන්දෑව ගත කරද්දී තමයි මම දැනගත්තේ එතුමා ගුරුකම් කරන ඇදුරෙක් බව. එතුමා හැබැයි බොහොම සාධාරණව රස්සාව කරන කෙනෙක්.. එතුමාගේ හදේ රැඳුණු කතාවක් මට මෙහෙම කීවා..

දවසක් මගේ ගාවට ආවා... එක පිරිමි කෙනෙක්.. එයාට ඕන වෙලා තිබුණේ ගෑණු දරුවෙකුගේ සම්බන්ධයක් නවත්ත ගන්න.. ඒත් මට තේරුණා මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.. මම දැරිවිට සෙතක් වෙන විදිහට ගුරුකම කළා.. ඒ නිසා එයාලගේ සම්බන්ධය දිගටම පැවතුණා.. ඒත් පස්සේ  ආරංචි වුණා ඒ දැරිවියි, එයාගෙ පෙම්වතයි, අර මා ලඟට ආව මනුස්සයයි.. ගැටුමකින් පස්සෙ මියෑදිච්ච බව.. ඒ විතරක් නෙවෙයි.. ඒ මනුස්සයා.. අර දැරිවිගේ බාප්පා කෙනෙක්.. බාප්පා මේ දැරිවිව බලෙන් අඹුව විදිහට තියාගන්ට තමයි උත්සාහ කරලා තියෙන්නේ.. අවසානයේ මරණ තුනකින් තමයි මේක කෙළවර වුණේ..

මේක අහද්දි මං හිතුවේ බාප්පලාට මෙහෙම වෙන්න පුළුවන් ද කියලා.. ඒ වගේම සූරිය ආරච්චි මහත්තයා කොයි තරම් හොඳ යතිවරයෙක් ද කියලා හිතුණා.. අපි කතා කරමින් මාවතක් දිගේ ඇවිද ගියා.. අපි දෙන්නා වෙන් වෙන තැනදී එතුමා මට උපදෙසක් දුන්නා..

ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..

මං උමඟ ඇතුලින් යද්දී.. සිතුවිලි වල යම් වෙනසක් ඇති වුණා.. එක දිගටම එකම සිතුවිල්ලක් ඔස්සේ දිගටම හිතෙන්න ගත්තා..

සූරිය ආරච්චි මහත්තයගෙ උපදෙස මතක් වුණ නිසා.. ඒ සිතුවිලි වලින් මිදෙන්න මට පුළුවන් වුණා..

ඒත් එක්කම මගේ ඔළුවේ බර ගතියක් ඇති වෙලා නැති වුණා.. අපේ ජීවිතත් එක්ක අද්භූත දේවල් වල තියෙන සම්බන්ධය මොන වගේද කියලා උමඟින් පිටවුණාට පස්සේ මං හිතන්න ගත්තා..


මතු සම්බන්ධයි..