Saturday, June 30, 2012

මොනවද කන්නේ..?

පහුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවුණු කතාබහකදී ජවිපෙ මන්ත්‍රීවරයෙක් අලුත් කෑමක් හඳුන්වා දුන් බව ප්‍රවෘත්තියකින් කියැවුනා.. එතුමා කිවුවේ "ජනතාවට දැන් කන්න වෙන්නේ මැතිවරණ" කියලා..

ඔය කතාව ඇහුවාම මට මතක් වුණේ මට අවස්ථා දෙකකදී හමුවුණු පුද්ගලයන් දෙදෙනෙකු කියූ මෙවැනි කතා දෙකක්..

1. මම අපේ ගෙදර අවශ්‍යතාවයකට හාඩ්වෙයාර් එකකට ගිහිං ඇණ වගයක් ගත්තා... ඒවායේ මිළ මං බලාපොරොත්තු වුණාට වඩා බොහොම අඩුයි.. ඇණ හරි ලාබයි නේද? මට ඉබේටම කියැවුණා..

ඒ ලඟ හිටපු අංකල් කෙනෙක්.... ඇණ තමයි දැන් මිනිස්සුන්ට කන්න වෙන්නේ.. කියලා බඩු මිළෙහි සුන්දරත්වය පැහැදිලි කළා.. උන්නැහැගේ කතාවත් ඇත්ත..

2. දවසක් අපේ බ්ලෙන්ඩරය හදාගන්ට කියලා, ඒවා හදන තැනකට ගිහිං,  ඒක හදනකං බලා ඉන්න අතර අපි නොයෙක් දේ කතා කරමින් හිටියා.. එතන හිටියා ලොරියක් හයර් කරන පුද්ගලයෙක්.. උන්නැහේ මේ රටේ වෙන අතිශය සාධාරණ කරුණු කීපයක් මතක් කළා.. උන්නැහේලට තියෙනවලු අවුරුදු පතා දුම් සහතිකයට අමතරව තවත් මොකක්ද සහතියකයක් ගන්ට.. ඒක ගන්ට ඕන ලංගමයෙන්ලු.. ඒත් ලංගමයෙ බස් වලට ඒ සහතිකය තියා දුම් සහතිකය වත් බල නොපාන බව උන්නැහේ මතක් කළා..මේක මිනිස්සුන්ගේ සල්ලි ගරාගන්න උපක්‍රමයක් විදිහට මිස රට ගැන හිතලා ගත්තු තීරණයක් වෙන්න බැහැ කියලයි උන්නැහැ කිවුවේ.. ඊලඟට උන්නැහේ කිවුවේ ජපානෙන් පාවිච්චි කරපු බඩු ගෙන්නන තැනක් ගැන.. මෙයාලා ජපානේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික උපකරණ ලංකාවට ගෙනැල්ලා, ලංකාවෙ අඩු මුදලට විකුණලා තියෙනවා.. දැං මාකට් එකේ තියෙන අලුත්ම චීන හෝ ඉන්දියානු උපකරණ වලට සාපේක්ෂව පාවිච්චි කරපු ජපන් උපකරණ දාහින් සම්පතයි කියන එක මමත් කිවුවා (මං ඒක අත්දැකීමෙන්ම දන්නවා).. ඒ වුණාට දැන් ඒ වෙළඳාම කරන්ට බෑලු..මොකද ගෙන්නන හැම උපකරණයකටම රු.2000/= ක විතර ලොකු බද්දක් ගහනවලු.. ඉතිං කොහොමද ඒවා ලාබෙට දෙන්නෙ.. ඔය අතරෙ ඩීසල්, පැට්‍රෝල්, කිරිපිටි එහෙමත් කරලියට ආවා.. අන්තිමට උන්නැහේ මෙහෙම කිවුවා..

දැන් මිනිස්සුන්ට කන්න වෙලා තියෙන්නේ බදු..

මොකද කියන්නේ.. මැතිවරණ කනවද? ඇණ කනවද? බදු කනවද?

මැතිවරණ සහ බදු නම් අපට ඕන වුණත් එපා වුණත් කන්න වෙනවනේ..

ඇණ කනවද නැද්ද කියලා තමයි තීරණය කරන්න ඕන..

තවත් විකල්ප කෑම මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ..

Friday, June 22, 2012

මයෙ පුතේ..


මයෙ රත්තරං පුතේ,
උඹ ලොකු උනාම කියාවිද දන්නෑ.. මං උඹට සැලකුවා මදියි කියලා..
ඒත් පුතේ,
මට පුළුවං හැටියට මං උඹට සලකනවා..
හැබැයි පුතේ,
මං උඹට රස මසවුළු දෙන්න, මහ මැදුරු හදන්න, සැප වාහන අරන් දෙන්න...
අනික් අයව අමාරුවෙ දාන්නෙ නෑ..
හොරකං කරන්නෙත් නෑ..
මංකොල්ල කන්නෙත් නෑ..
ඒ වගේම පුතේ..
උඹව ලොකු ඉස්කෝල වල දාන්න,
ලොකු රස්සා අරන් දෙන්න,
මං ජරාව දෙන්නෙත් නෑ..
මට ඕන උඹටත් මට වගේ සුන්දර ළමා කාලයක් දෙන්ට..
ඒත් ලෝකෙ මට ඒකට හරස් වෙලා..
ඉතිං මයෙ පුතේ..
උඹ මට නිකමා කියාවිද...?
උඹට මයෙ අවංක කම දොයිතුවක් වත් වටින්නෙ නැද්ද..?



රස වෑහෙන මිහිරි බොජුන්
සුව වෑහෙන මැදුරු විසල්
නෙක විසිතුරු මෙලොව ඉසුරු

නුඹට දෙන්න පුතේ..


අන්සතු දේවල් කිසිවක්
නුසුදුසු දේවල් කිසිවක්
වෙන කාගේ හරි සතුටක්
මම නොගනිමි පුතේ..



ලොකු ලොකු පාසැල් හොයන්න
ලොකු ලොකු රස්සා ලබන්න
ලොකු ලොකු උදවිය පස්සෙන්
නොම යමි සුදු පුතේ..


මං වින්දා වගේ සොඳුරු
ළමා කාලයක් නුඹටත්
දෙන්න තමයි  මට ඕනෑ
මයෙ සුරතල් පුතේ



මගේ පැතුම් සුන් උනොතින්
නුඹ මට නිකමා කියයිද
කළ සෙත කිම දැයි අසයිද
නොදනිමි මයෙ පුතේ...

නුඹ මට කෙතරම් බැන්නත්

හෙට දවසේ මට පුළුවන්
මගේ පුතා හොඳ මිනිහෙක්
කියන්ට මයෙ පුතේ..


Thursday, June 7, 2012

"ඔහු" කවුරුදැයි පුළුවන්නම් පවසන්න..

දවසක් දෙකක් නොව අට වසරක් තිස්සේ
වෙහෙසක් නැතිව ඇය ගේ හිත ඔහු පස්සේ
මොහොතක් ඇයට පෙන්වා පෙම් හිත රිස්සේ
පිටසක්වලය ඔහු නිතරම වස් වැස්සේ


ඔහුගේ දියුණුවයි නිතරම ඔහු බැලුවේ
ඇයගේ දරුවො ගැන නැහැ පොඩියක් හිතුවේ
පිටිනුත් ණයට ගෙන ඔහු මඬි තර කෙරුවේ
ඇය නම් කඳුළු බිඳුවක් පමණයි හෙළුවේ


දරුවන් අනතුරේ! නෑ නිසි පිළිවෙලට
ඇය විකුණන් කන්න ඔහු බැලුවේ යසට
ඇගෙ ලඟ තිබූ හැම පිච්චිය ඔහු හොරට
අරගෙන වහසි බස් දොඩවයි දැන් ලොවට


සොයුරන්, පුතුන් පමණක් නොව දැන ගන්න
මිතුරන් හටත් දී ඇත ඇය කෙළෙසන්න
දරුවන් දැරුවොතින් තැත් ඇය රැකගන්න
එසැණින් හැකිය සුරලොව තරු දැක ගන්න


ඔහුගේ දෙබිඩි පිළිවෙත තව නොම දන්න
දරුවන් කියයි තවමත් ඔහු රැක ගන්න
බොරු ආඩම්බරේ බැහැ තව ඉවසන්න
මේ හොර තාත්තව දැන්වත් එළවන්න