Wednesday, May 30, 2012

වෙයා...

 වෙයා කියා සිංහල වචනයක් ඇති දැයි මා දන්නේ නැත. ඒත් ඉංගිරිසියට නම් මේ "වෙයා" ව නැතිවම බැරිය. මං ලඟින්ම ඇසුරු කරන්නේ කොම්පීතරය හින්දා එතැනින් පටං ගත්තොත්..


කොම්පීතරයත් එක්ක සහවාස වන "වෙයා" හතරක් ඇත. ඒ හා(ර්)ඩ් වෙයා, සොෆ්ට්වෙයා, ලයිවු වෙයා සහ ෆර්ම් වෙයා ලෙසිනි.. මෙයිනුත් මට සමීප වී ඇත්තේ සොෆ්ට්වෙයා ය. සොෆ්ට්වෙයා කීවාමත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සහ සිස්ටම් සොෆ්ට්වෙයා ලෙස භාවිත වේ.. මේවායින් සමහරක් ෆ්‍රී වෙයා වන අතර අනෙක් සමහර ඒවාට ගෙවන්ට ගිහාම නෝ වෙයා වන බව ද මතක් කළ යුතුය. සමහර සොෆ්ට්වෙයා හොයන්න අපට වෙබ් එකේ එවුරි වෙයා හොයන්ට වෙනවාය. සම්වෙයා හරි තිබුණොත් හොඳය. නැතිනම් නෝ වෙයා ම තමාය. දැං කොම්පීතරේට වඩා සොෆ්ට්වෙයා ෆෝන් එකට තියෙනවාය...


කොම්පීතර් ගැන කතා කරද්දි හමුවෙන හාඩ්වෙයා වලට අමතරව තවත් හාඩ්වෙයා වර්ගයක් තිබේ.. ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය වගේ ඒවා විකුණන කඩ විශේෂයකි. මේක නම් බලා ඉන්දැද්දි දියුණුවෙන්ට ඇහැකි බිසිනොස් එකකි.. 


කොහොම කිවුවත් අපට වඩාත්ම සමීප වෙයා එක අන්ඩ වෙයා එකය.. මෙයට අමතරව, සැනිටරි වෙයා, ෆූට් වෙයා, වගේ ඇඳ පැළඳ ගන්ට පාවිච්චි කරන වෙයා වර්ගත් එමටය..


නාන කාමර උපකරණ ආදී දෑ වලට බාත්වෙයා කියා කියනවාය.


අවෙයා කියන්නේ "දන්නා" කියන එකටය. බිවෙයා කියන්නේ පරෙස්සම් වෙන්ට කියන එකටය.  මෙන්න මෙතැනට ගියොත් වෙයා අගට යෙදෙන වචන පනස් ගනණක් බලා ගත හැකිය..

ඔය ඔක්කොටමත් අමතරව "කොතනද" යන අරුතින් හා වාක්‍ය සම්බන්ධ කරන්නත් වෙයා යොදනවාය....


කොහොම වුණත් "වෙයා" කියන්නේ කටේ නිතර මිමිණෙන වචනයක්ය 





Monday, May 28, 2012

ලේසිය තකා නසමු ද බස අමු අමුවේ..

පාසිය බැඳෙයි දෝ පෙරැලෙන ගල හමුවේ
කාසිය, බලය ම ද ජය කණු ඇති මෙ ලොවේ
නෑසිය, මිතුරනේ ඇති හෙළ ලෙය පපුවේ
ලේසිය තකා නසමු ද බස අමු අමුවේ


හෙළයේ උදාරම් පවසනු පිණිස ඇති
ලකුණකි "සඳැස් කවි" ! එය බොරුවක් නොවෙති
"සඳැසක්" මේ කියා හඳුනා ගනු කැමැති
නෙකයුරු රීති එහි ඇත රසයට හිතැති


විරිතෙහි දෝස නෙක වන "මත් දොස්" ආදී
සැමහට දැනෙයි වරදක් බව ගැයුමේදී
තව බොහො දෝස තිබෙනව' "යවහන්" ආදී
සමහරු නසති නොතකා ගුරු පොත්, ආදී


"සඳැස් කවිය" පොහොරක් වුණි හෙළ බසට
එහෙත් කිමද බාධක මේ කවි කෙතට
වෙනස් කළොත් රීතිය පවතින දැනට
"සඳැස්" කියා කිව හැකිදැයි සැකකි මට

ප.ලි.
හෙළ බසෙහි හා සඳැස් කවෙහි  අගය නොදන්නා කමට හෝ  අලුත් දෑ තැනීමට හෙවත් නව නිර්මාණ බිහි කිරීමට සඳැස් කවෙහි රීති නැවත සැකසිය යුතුයැයි ඇතැම්හූ තර්ක කරති...
දැනට පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා රීති පිළිබඳ කතිකාවක් ඇති කිරීම යහපත්ය. එහෙත් මෙතෙක් පැවැති රීතීන් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට වෙනස් කරන ලෙස බල කිරීම සුදුසු දැයි නැවත නැවතත් සිතිය යුතුය.. අනෙක එලෙස වෙනස් කළ පසු එම කවි තව දුරටත් "සඳැස්" ලෙස සැලකිය හැකියැයි මට නොසිතේ.. එය වෙන මොකක් හෝ එකක් විය හැක..

Wednesday, May 23, 2012

බැරි දා විග්‍රහය..! තුන්දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ..

නැති බැරි අපට හැමදාමත් බැරි දා ය.


හිඟා කන්න බැරි කමට හිඟා නොකෑවට, වැඩිමනත් හුදී ජනයා හිඟා නොකා හිඟා කනවාය කියලා කියන්නේ රජයට මඬ ගහන්ටය. අපේ ඈයෝ හිඟා කන්නට රුසියෝය.. නිකං දුන්නොත් දෙමළ පත්තරෙත් ගන්නවාය.. මේ කෙළිය නවත්තන්නට රජය ප්ලෑන් පිට ප්ලෑන් ගහයි..


මුලින්ම තී රෝදෙට, මෝට සයිකලේට පොඩි ඉන්ජැස්සන් එකක් ගැහුවේ කාටත් ඇහැරෙන්ටය.. දැන් ඕනා එකයි, එපා එකයි තී රෝද, මෝට සයිකල් ගන්ට උඩ පනින්නේ නැත.. ඒ කියලත් අහන්නේ නැති උන්ට දැං ඔපරේසොං එකක් පටං ගෙන ඇත..


තී රෝදෙක පිටිපස්සේ පුටුවේ යන්න පුළුවං තුන් දෙනෙකුට පමණි (දරුවන් ද ඇතුළුව). මෝට සයිකලේක එම ගනණ 2 කි.. නැති නම් මුන් පවුල් පිටිං යන්ට මේ පුංචි වාහනේ යොදාගන්ට බලති.. මුං බලන්නේ ලාබය ගැනය.. ඒත් එහෙම ගිහාම තියෙන කැත ගැන උන්ට වගේ වගක් නැත..


තී රෝදයක් හයර් එකට අරං යන්ට එන දරුවෝ දෙන්නයි, අම්මයි, තාත්තයි කියන පවුල සලකන්න... මෙයාලට විකල්ප කීපයක් තිබේ..


1. අම්මයි දරුවෝ දෙන්නයි තී රෝදයේ නංවා තාත්තා බසයේ පැමිණීම
2. අම්මයි, තාත්තයි, දරුවෙකුයි තී රෝදයේ ගොස් එක දරුවෙකු බසයේ පැමිණීම. (දරුවා 12න් පහල නම්.. මෙම ක්‍රමය වඩා වාසි දායකය..
3. නැනෝ කැබ් එකක් ගෙන්වාගෙන සැප පහසුවට ගමන යාම
(සිරි දේසේ සරු සාර මිනිසුන් 3 වැනි විකල්පය තෝරා ගන්නවාට සැකයක් නැත්තේ මය..)


මෙච්චර කල් මොටෝ සයිකලෙන් මුළු පවුලෙම බර ඇද්ද අයටත් දැන් රෝද හතරක් ගැන හිතන්නට අවස්ථාව උදා කර ඇත.. එතෙක් ඔවුනට ද ඉහත විකල්ප භාවිත කර හැක..


රටේ එපාම කරපු පිරිස වැඩියෙන්ම පාවිච්චි කරන මොටෝ සයිකල් හා තී වීල් මෙරටින් තුරන් කිරීමට බලධාරීන් කල් මැරුවා වැඩිය..


ප.ලි.
තුන් දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ මක්කටෙයි කියලා හිතුණා.. ඒත් ඉතිං අහවල් එකක් කරන්ටෙයි කියලා මෙහෙම ලියලා නිකං හිටියා..

Tuesday, May 15, 2012

ඔබා ගේ නික්ම යෑම හා මරණය!





සයිබර් අවකාශය තුළ එක්තරා සලකුණක් තබන්නට සමත් වූ සුවිශේෂ වූ මිනිසෙකු අපෙන් සමුගෙන ඇත. සමස්ථ සයිබරයම ආදරයට ඔබා, ඔබා මාමා, ඔබා අයියා ආදී වශයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන නම් ඒ බ්ලොග් සහෘදයාණන් අපගෙන් සමු ගෙන ඇත.. එය මා සයිබරයේ පිටු අතර සැරිසරන්නට සිතා මීට සුළු වෙලාවකට පෙර සූදානම් වීමේදී දැනගත් කණගාටුදායක ආරංචියයි.. ලෝ දහමත් එයම බව නොදන්නෝ කවරහුද?


සත්තකින්ම මා ඔබා සොයුරා වෙනුවෙන් මේ සටහන තබනුයේ.. අනික් හැමෝම සටහන් තබන නිසා හෝ, මට එසේ තැබීමට අයිතියක් තියෙන නිසා හෝ, මා එසේ සටහනත් තැබිය යුතු නිසා ම නොවේ..


මට මතක හැටියට මගේ බ්ලොගයේ ඔහු කමෙන්ටුවක් දමා නැත. මා හා වචනයක් වත් දොඩා නැත. අප මුණ ගැසී වත් නැත. ඒ තබා චැට් එකක් වත් දමා නැත.


එහෙත් ඔහු අනෙක් බොහෝ දෙනාගේ මෙන්ම මගේ හිතත් දිනා ගන්නට සමත් වූවෙකි.. ඔහු මේ තරම් ඉක්මණින් අප හැර යාවි යැයි මම නොසිතුවෙමි.. එනිසාම හදේ තිගැස්මක් ඇත.


ඔබා සොයුරාගේ මරණය අපට නැවතත් මතක් කරණුයේ බුදුරදුන්ගේ ධර්මය මිස අනෙකක් නොවේ..
මරුවාට කැමති වේලාවක අප කරා පැමිණිය හැකි බවට මේ නිදසුනකි..


අපට ද යන්නට වෙලාව එනු ඇත.. යන්නේ හිස් අතින් ද, පුරුදු කළ උතුම් ගති සිරිත් අතැතිව ද යන්න තීරණය කරන්නේ අප ම ය. අප කරන ක්‍රියා ය. අප සිතන පතන විදිහ ය.


නොසිතුව මොහොතක එයි මරු අප වෙත
නිරතුරු ඒ ගැන සිත යොදවනු මිත
නැති වන තුරු හරි හැටි වාරුව ගත
නොසිටිනු ජය ගන්නට පහදා සිත




මිය ගිය ඔබා හෙවත් සනත් සොයුරා ට නිවන් මඟ හෙළි පෙහෙලි කර ගැන්මට අවස්ථාව උදා වේවා යි පතමි..

Thursday, May 3, 2012

මං දැං ම මැරෙයිද...?

මේ ප්‍රශ්නය, ප්‍රශ්නයක් විදිහට නෑවිත් උත්තරයක් විදිහට ආවා මීට අවුරුදු 16කට විතර කලිං.. ලෝකාන්තෙ පැත්තෙ විනෝද චාරිකාවක් යද්දී අපි ගියපු වෑන් එක කන්ද නගිද්දී නැවතිලා ස්ටාර්ට් කර ගන්න බැරුව ආපස්සට වේගෙන් එද්දී මට හිතුණා තව ටිකකින් ජීවිතය අවසන් වෙන්ට යනවැයි කියලා.. මට පිටිපස්සේ උන්නු අයත් ඉස්සරහා දොර ගාවට යන්න නිරර්ථක උත්සාහයක් ගනිද්දී... මං හිතුවේ.. දැනට අවස්ථාවක් නෑ.. ලැබුණොත් බලමු.. කියලා හිතාගෙන ඉස්සරහා සීට් එක හොඳින් අල්ලගෙන "නමෝ තස්ස..." ආදී වශයෙන් වූ ගාථා කියලා හිත ඊලඟ භවයට සූදානම් කර ගැනීමයි.. බුද්ධ ධර්මය ගැන ඉතාම අල්ප දැනුමක් සහ උනන්දුවක් තිබූ ඒ යුගයේ දී මගේ හිතට ඒ අදහස ආවේ කොහොමද කියලා මට තාම හිතා ගන්ට බෑ.. ඒත් පාරේ කොණක තිබුණු ගලක වැදිලා වාහනේ නවතින වෙලාව වෙනකොට අපිත් එක්ක ගිය අපේ යාළුවො බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට නං හිනාත් යනවා..

කකුල බිම ගහන්න බැරි තැන් වල පීනීමේ අපහසුවක් තියෙන මං ගිලෙන්න ගිය අවස්ථා කීපයක් තිබුණත් තව ටිකකිං මැරෙයි කියලා නං හිතුණු බවක් මතක නෑ..

පිරිබාහරන් ගොයියා ඇස්ටි හැලෙන්ට කොළඹ හා ඒ අවට බස් වල බෝම්බ තියන්ට හිටපු කාලෙ තමයි ප්‍රථම වතාවට මැරෙන්න බයක් දැනුණේ.. ඒ කාලෙ කොයි තරම් ගැස්මක් තිබුණද කිවුවොත් හුටු හුටුවෙන් යද්දී පුළුවන් තරං පාවිච්චි කළේ කැලෑ පාරවල්. බස් ලඟින් යන්නේ නෑ.. පුළුවන් තරං ඈතිං වේගෙන් ඉස්සර කරගෙන තමයි යන්නේ.. (ඒ කාලකන්නි යුද්ධය සාර්ථකව නිමකරන්ට දායක වුණු හැමෝටම පිං). මේ බය තිවුනෙ නිකංම නෙවෙයි.. මං වග කිව යුතු පවුලක් මට හිටපු හින්දයි.. එයාලගේ අනාගතය වෙනුවෙන් සැළකිය යුතු යමක් ඒ වෙනකොට මට කරන්ට බැරි වෙලා තිබුණු හින්දයි (තාමත් එහෙම්මමයි..)  බෝම්බයෙන් අනතුරක් වුණොත් කියලා දාන්ට ගිය රක්ෂණේ නොදැම්මේ, බෝම්බයකින් මැරෙන එක ස්වභාවික මරණයක් විදිහට එයාලා වර්ග කරලා තියෙන බව දැන ගත්තු හින්දයි..


ඒත් දැං මට ආයෙමත් මං මැරෙයි ද? කියලා හිතෙනවා... ඔයාලා හිතන්නේ කොහොමද?
ඇත්තටම මං මැරෙයිද? එහෙම වුණොත්, මගෙ දෙමවුපියො වෙනුවෙන්, මගෙ බිරිඳ වෙනුවෙන්, මගෙ දරුවො වෙනුවෙන්.. මං මොනවද කොරලා තියෙන්නේ..? මේවට දෙන්න උත්තර මගෙ ගාව නෑ.. මං දන්නවා.. ඔයාලා ගාවත් නෑ..


ප.ලි
මේ ලියලා තියෙන්නේ ඇත්තමයි කියලා හිතන්න එපා.. ඒත් ඒක එහෙම නෙවෙයිම කියලත් හිතන්න එපා..!