Thursday, January 26, 2012

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 1

සයිබරය කියන්නේ නිම් හිම් නැති අවකාශයක් නොවැ.. මටම අමතක නොවෙන්ට කියලා ඔය කොම්පියුටරේ එක්ක මං ආපු ගමන ගැන තියෙන මතක මංපෙත මෙතන දිග හරින්ට හිතුණා.. ඔයාලටත් ඔයාලගේ මතක මතක් වෙන්ටත්, අපේ කාලෙයි ඔයාලගේ කාලෙයි කොයි තරම් වෙනස් ද කියලා හිතා ගන්ටත් එක්ක..

මට අවුරුදු 8-9 ක් විතර කාලයේ අපේ ගෙදරට කොම්පියුටරයක් ගෙනාවා.. ඒක මේ දැං කාලෙ වගේ එකක් නෙවෙයි.. අපි ඔය පරිගණකයේ ඉතිහාසය කියලා ඉගෙන ගන්න ජාතියෙ එකකුත් නෙවෙයි..  මතක විදිහට ඒක නිකං පොඩි කී බෝඩ් එකක් තරං භාණ්ඩයක්.. මේකෙ වයර් එකක් විදුලියටත් තවත් වයර් එකක් රූප පෙට්ටියේ ඇන්ටනා ජැක් එකටත් සම්බන්ධ වෙලා තිබුණා.... ඊට පස්සේ රූප පෙට්ටිය ටියුන් කොරලා චැනල් එකක් වගේ දෙයක් අහු වෙනවා.. දැන් තියෙන්නේ ප්‍රෝග්‍රෑම් ලියන්න... ඒ ප්‍රෝග්‍රෑම් එක රන් කළාම එක එක විදිහේ ඩිසයින් එනවා..  ඔච්චර තමයි ඕකෙන් වෙන්නේ..  මේකට අපි කොම්පියුටරේ කිවුවට.. මේක කොම්පියුටරයක්ම නෙවෙයි මයෙ හිතේ..

කොහොම හරි කොම්පියුටරෙත් එක්ක ඊළඟ අත්දැකීම හම්බවුණේ මගේ පාසැල් මිතුරා ගයාන් ගේ ගෙදරදී..එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර ඇති. ගයාන්ට මොකක්ද ප්‍රදර්ශනයකට ගිහිං ගත්තු ටිකට් එකකින් කොම්පියුටරයක් ඇදිලා ඒකෙ ප්‍රොසෙසර් එක 486 වගේ තමයි මතක.. ඒ කියන්නේ ඒ කාලෙ හොඳම වගේ එකක්.. 1995 විතරනේ.. DOS තමයි මෙහෙයුම් පද්ධතිය. ඒකෙ කී බෝඩ් එකේ අකුරක් එබුවහම අකුරු පහක් විතර ටයිප් වුණා මතකයි..  හුරු නැති නිසා..

ඊටත් අවුරුදු 2කට විතර පස්සේ කොම්පියුටරේ ගැන තවත් අත්දැකීමක් ලැබුණා..
උසස් පෙළින් පස්සේ සුමේධ සර් ගේ Beeta Computer Institute එකේ Basic ඉගෙන ගන්න ගියා..
පරිගණක අධ්‍යාපනයේ මුලික කොටස කියලා දෙනවා කියලා තමයි අපි හිතං හිටියේ.. හොඳ හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් එහෙම කරලා, Flow Charts වගේ Data Structures එහෙමත් ටිකක් කියලා දුන්නට පස්සේ ආයිත් Basic උගන්නන්න පටං ගත්ත එක ගැන පොඩ්ඩක් අමුත්තක් හිතුණත්... අපිට කොම්පියුටරේ මුලින්ම වැඩ කරන්න දුන්නේ Basic කියලා දෙන්න පටං ගත්තට පස්සේ හින්දා, හිත හදාගෙන ලස්සනට පාඨමාලාව අහවර කළා.. (සෑහෙන කාලෙකට පස්සේ තමයි තේරුණේ අපි Basic  කියලා ඉගෙන ගෙන තියෙන්නේ GW Basic කියන Programming Language එක කියලා..

ඊළඟ අවුරුද්දේ හැකියාවට රැකියාවක් කියලා  Langway Institute කියන ආයතනයෙන් දාලා තිබුණු ඇඩ් එකක් අනුව ගිහිං ටයිප් කොරන්න ඉගෙන ගත්තා.. (දෙයියන්නෙ පිහිටෙං මට කී බෝඩ් බලන්නෙ නැතුව ටයිප් කරන්න පුළුවං වුණේ Langway Institute එකට පිං සිද්ධ වෙන්න..)

ඊලඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1998 විතර MyData කියලා ආයතනයක Data Entry Operator කෙනෙක් විදිහට සති දෙකක් විතර රස්සාවට ගියේ, රස්සාවකට යන්න ඕන කමකට ම නෙවෙයි ඕං.. (ඒ ගැන අහන්න එපෝ..) කොහොම හරි දවස් 2-3 නිවාඩුවක් ඉඳලා යනකොට කොම්පැණිය නෑ..

ඒ අවුරුද්දෙම 3 වැනි අති සාර්ථක වතාවටත් උ/පෙ ලියලා ඉවර වෙලා නොමිලේ ශිෂ්‍යත්ව දෙන කොම්පියුටර් විභාග වලට ලිවුවා.. ඔන්න එකක් සැට් වුණා... ලි.ප. ගාස්තුව විතරයි.. තිබුණේ කාසල් එක ඉස්සරහා.. Western Micro Information Systems කියලා ආයතනයක්... ඒක කරගන යන අතරේ හිතුනා මේක නම් මදි තව මොකක් හරි කොරන්න ඕන කියලා.. ඔය අතරේ තමයි ආරංචි වුණේ..  Open University එකේ Computer Course එකක් තියෙනවයි කියලා.. ඔන්න ඉතිං මං මගේ තව යාළුවෙකුත් එක්ක ගියා  Open University එකට ඉල්ලුම් පතක් ගන්ට..
අපි: Computer Course එකට  Application Form එකක් දෙනවද?
OU: Engineering ද?  Stand Alone ද?
අපි: (මූණට මූණ බලා ගනිමින් ටික වෙලාවක් හිඳ ඕන මඟුලක් කියලා.... ) Engineering
OU: Medium එක Sinhala ද?  English ද?
අපි: (මූණට මූණ බලා ගනිමින් ටික වෙලාවක් හිඳ ඕන මඟුලක් කියලා.... ) English

ඔන්න ඔහොම විවෘත සරසවියේ ඩිග්‍රිය කරන්න පටං ගත්තු අපි..ටික කාලෙකිං දැන ගත්තා Internet  කියලා අහවල් එකක් තියෙනවා කියලා..  yaahoo එකේ Mail Accounts එහෙමත් හදා ගත්තා..  දැං අර class එකේ Pascal වගේ  Programming Languages එහෙමත් හීනියට උගන්වනවා.. OU එකේදී Pascal  විෂය ටිකක් දක්ෂයෙක් වගේ හදාරන්න මට ඒක වාසියක් වෙන්න ඇති..

ඊට පස්සේ 2000 අවුරුද්දේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දෘඩාංග පාඨමාලාවක් කළා.. ඒ කාලේ තමයි ටිකක් වැඩිපුර කොම්පියුටරේ ගැජට්, බැජට් ඇල්ලුවේ කළේ.. ඒ කාලෙම මං කොම්පියුටරයක් ගත්තා.. ඒක 486 එකක්.. RAM 8Mb, HDD 350 MB, Clock speed 66 Mhz.. කොහොමද පාර.. OS එකWindows 95.

ඔන්න මං මාස 3.5 ක පුහුණුවකට ගියා .. Informatics කියන ආයතනයට.. මුලින් මාස 2ක් මොනිටර්, ප්‍රින්ටර් හදන Workshop එකකත් ඉතුරු ටික Computer WorkShop එකකත් හිටියා.. එහේ ඉන්න කාලෙ ඉද හිටලා ඉන්ටර්නෙට් ගියා..

Programming වලට අදාල පුහුණුව ගත්තේ OU එකේ මයි.. දැනුම සඳහා Web එක පරිහරණය කරන හැටි ගැන මේ කාලයේ වැඩි අවබෝධයක් ලැබුණා..

ඊට පස්සේ Programmer කෙනෙක් විදිහට වැඩ කරන්න ගත්තාම නිතර E-Mail පරිහරණය කළා..vbforums.com, srilanka.net forum වගේ ෆෝරම් වලින් සමූහයක් එක්ක වැඩ කරන්න හොඳට අත් දැකීම් ලැබුණා..

මං මුලින්ම මොනවා හරි හොයන්න ගිහිං Elakiri.com කියන අඩවියේ සාමාජිකයෙක් වුණා..  ඒ වෙනකොට ෆේස්බුක් සාමාජිකයෙක් වෙලා තිබුණද කියලා මතක නෑ.. හැබැයි ඒ තරම් ක්‍රියාකාරී නෑ කියලා නම් මතකයි.. Elakiri වලින් තමයි මං ආයෙත් කලාවට බැස්සේ.. ඊට පස්සේ සයිබර් ලෝකේ මං ආපු දුර ගැන ඊලඟ ලිපියෙන් ලියන්නම්.. එළකිරිය තමයි මගේ සයිබරයේ දොර..

Wednesday, January 18, 2012

කවි හදන හැටි - 9 (කාව්‍ය ශෛලීන්)

කවි හදන හැටි (හැඳින්වීම)කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද)කවිහදන හැටි - 3 (සුභ ගණයෙන් කවි ලියමු),  කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)කවි හදන හැටි - 5 (යතිය, එලි සමය, එළි වැට සහ පාද.)කවි හදන හැටි - 6 (දශ මහා ගුණ)කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ)කවි හදන හැටි - 8 (සංක්ෂිප්ත කාව්‍ය සිද්ධාන්ත) නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.




විවිධ පුද්ගලයන්ට, විවිධ යුග වලට මෙන්ම විවිධ සාහිත්‍ය කෘති වලද විවිධ ශෛලීන් ඇත. කෙනෙකුට උත්පත්තියෙන්ම ලැබෙන සහජ ශෛලී කුසලතාවය තවත් අයෙකුට බලෙන් හෝ උත්සාහයෙන් ලබා ගැනීම උගහටය. තමාට සුදුසු ශෛලිය තමා විසින් ම කළ යුතුය. 


යුග වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. අනුරාධපුර 
2. පොළොන්නරු
3. දඹදෙණි
4. කුරුණෑගල
5. ගම්පල
6. කෝට්ටේ
7. සීතාවක
8. මහනුවර
9. කොළඹ


ග්‍රන්ථ වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. දම්පියා අටුවා ගැට පද 
2. ධර්ම ප්‍රදීපිකා
3. අමාවතුර
4. බුත්සරණ
5. සද්ධර්මරත්නාවලී
6. උමංදා


සාහිත්‍ය ක්ෂේත්‍රයේ කාව්‍ය වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. ගද්‍ය කාව්‍ය
2. පද්‍ය කාව්‍ය
3. චම්පු කාව්‍ය


තවත් ශෛලී වර්ගීකරණයක් මෙසේ වෙයි..

1. වෛදර්භී
2. ගෞඩී
3. ලාටී
4. පංචාලී


සිරි සීවලී නා හිමියන් විසින් පහත ශෛලීන් 14 හඳුන්වා දී ඇත.


01. උද්දීපන
කිසියම් කාරණාවක් උද්දීපනය කොට පැවසීමට ගන්නා උත්සාහය තුළින් උද්දීපන ශෛලිය මතු වේ..


දල වැලී කතරක්
අතරින් ගලන නදියක්
මෙන් වීද උතුමෙක්
වඳිම් එ සුගත් පතා සඟමොක්


(රත්නමාලී කාව්‍යය) 
02. භාව පූර්ණ
මෙමඟින් කවියාගේ සිතෙහි ඇති වන චිත්ත රූපය පාඨකයාගේ/ශ්‍රාවකයාගේ සිතෙහි පහළ කරවීමට හැක.


සරසවිය                         කැන්දමි
රන් රස තොළඟ                රන්දමි
සතර පද                           බන්දමි
ඔබ සැවොම එක තැනක     ඉන්දමි


(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි.)


03. ගාඨ 
ඇසීමේදී හෝ කියැවීමේදී කඨෝර වචන අසන්නට, කියවන්නට සිදුවන ශෛලිය කඨෝර ශෛලිය හෙවත් ගාඨ ශෛලියයි.


අෂ්ඨ ලෝක ධර්මයෙන් නිරන්තරෙන් රැකී
දුෂ්ඨ පාප කර්මයන් වලින් සිටිවු මැකී
කුෂ්ඨ රෝග චිත්තයෙන් පිරී තිරී වැකී
ශිෂ්ඨ වීම දැන් ඉතින් පටන් ගනිවු එකී


(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි.)


04. දීර්ඝ
එක් වර්ගයක හෝ එක් ජාතියක අකුරු සමීපව තබමින් නැවත නැවතත් කිය කියා දිගින් දිගටම කියැවෙන කවිය දීර්ඝ ශෛලියට අයත් වන්නේය. කෙටියෙන් කිව යුතු දෙය දිග්ගස්සමින්, වචන විශාල වශයෙන් කියමින්, යතිය අඩුවෙන් තබන මෙම ශෛලිය යම් කථාවක් පැවැත්වෙන අවස්ථා වලදී ඉතා සුදුසුය. 


සසර සරණ ගිමන නිවන බෝපිටියේ ධම්මිස්සර නායක හාමුදුරුවනේ ඔබට වඳින්නම්
දිනන දිවිය මෙළොව ගෙවන සරු පින්කෙත විළස රැඳෙන ඔය පායුග අසල වැටී අවසර ගන්නම්
සකල සතට මෙහෙය කරන ඇති නැතිකම සිතට දැනෙන සාමයෙ ගී දස දහසක් නිබඳ බඳින්නම්
මෙවර පොහොය මිහිඳු මහිමි සිහිගන්වන මහ පෙරැහැර වෙතට සියළු දෙනට කරුණු මෙලෙස කියන්නම්


(මෙය සේන කිවිඳුන් විසින් පොසොන් උත්සවයක මිහිඳු පෙරැහැරක් සඳහා පැවැත්වූ රැස්වීමකදී කියන ලද කවියක් බව සඳහන්ය.)


05. කෙටි
කෙටි ශෛලිය යනු ඉතා කෙටි වෘත්තයන් උපයෝගී කරගෙන කවි බැඳීමය. මනස සංවර්ධනය හා වර්ධනය සඳහාත් අමතක නොවීම සඳහාත් මෙය උපයෝගී කර ගත හැක.


සම්බුදු සරණයි
සමිඳු දෙසු දම් සරණයි
මහ සඟ ගණ සරණයි 
හැමට තෙරුවන් සරණයි


(මෙය යොත් ගී විරිතට (8-11-10-11) අනුව මවිසින් බඳින ලද කවියකි..)


06. වේගවත්
කිසියම් දුකක්, බියක්, කෝපයක් ආදී ආවේගයක් නිසා බඳින කවි වේගවත් ශෛලියට අයත් වේ.. 


බලු වැඩ කරන්න 
නොහැකිය ඉඩ තියන්න
දත් ටික හැලෙන්න
හිතෙනවා මට තොට අනින්න..

(මේ සේන මහතා විසින් එක්තරා නොපනත්කමක් දුටු තැනක දී කියූ කවියක් ලෙස සටහන් වේ..)

07. ආක්‍රමණ
කිසියම් කෙනෙකුට එරෙහිව බඳින කවි ආක්‍රමණ ශෛලිය වන්නේය. සමාජ ශෝධනය සඳහා මෙම ශෛලිය උපයෝගී කර ගත හැක.


දියෙහි යන                    දණ්ඩට
පිහිටක් වෙතත්             පෙර සිට
දුදනන් හට                        පිහිට
නොවවු යන බස සැබෑ කළෙ  මට


කොපමණ ගුණ                කළත්
දුදනෝ නොවෙති             යහපත්
කිරි දියෙනි                   දෙවියත්
අඟුරු සුදුවන කලෙක් නම්   නැත්


(ගුත්තිල කාව්‍යය)


08.විවේචන
කිසිවෙකු ගේ හෝ කිසිවක ගුණ දොස් විවේචනය කිරීම විවේචන ශෛලිය වන්නේය. 


වෙසෙසින් නියම කොට
දුන්නත් ඉසුරු මුළු රට
තුටු නොවන එකෙකුට
ගමන් දෙන මෙන් සතුටු පඬුරට


මියු රස ගී සමඟ
කර ගායනා මන රඟ
එවිට ද උන් එරඟ
බලා නොසතුටු සිතින් උන් රඟ......


(ගුත්තිල කාව්‍යය)
09. උපහාස
කෙනෙකුට හෝ කිසිවකට උපහාස පිණිස බඳින කවි උපහාස ශෛලියට අයත්ය.


කෙඳිරි පර ගානී
ඇති සිත ඉඟි නොපානී
පෑ ආනි බානී
කියා එබසට නැමුණු ගෑනී


(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )


10. සරල
සිතෙහි හටගත් අදහස ඉතා සරල බසින් කීම සරල ශෛලියයි.


මම කොළඹ යන්නෙමි
වැඩ කටයුතු කරන්නෙමි
යළි ගෙදර එන්නෙමි
කෑම කාලා බුදිය ගන්නෙමි


(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )


11. වර්ණනා
පෑදෙන මුවඟ මද සිනහවකි පෑ රස
බෑ වෙන කෙනෙකු හට නෙත දෙන්න ඒ දෙස
පූ දින තැඹිලි මල බඳු ගුණැති දා දස
රා වණ රජු සමානය බලය තේජස


(ගුරුළු සංදේශය*  85 වැනි කවිය )
12. අනුප්‍රාස
එක හා සමාන වන්නා වූ වචන හෝ අකුරු එක ලඟින් යොදමින් කවි නිර්මාණය කෙරෙන්නේ අනුප්‍රාස ශෛලියෙනි..
කල බල නොකළ මිහිතල පහළ බල කඳින්
කුල මල සකල සිත තුළ නොබල හෙළ තෙදින්
දල නල කසල විසි කළ වෙරළ රළ නදින්
හල කල කොමළ ලෙස බල සුදිල කළ මැදින්


(ගුරුළු සංදේශය* 81 වැනි කවිය  )
13. හෙළු
තනි ශුද්ධ සිංහල බසින්ම බඳින ලද කවි හෙළු ශෛලියට අයත්ය. 


රළලා උපුලා නොඑව තුලායා
නෙතුලා බැමලා බම වාලායා
රඟලා එකලා බැලුම් සලායා
නෙතලා සිතුලා ඇඳ බැඳලායා


(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )
14. ඇකාර
"ඇ" කාරය යොදමින් බඳින කවිය ඇකාර ශෛලියයි. 


නුඹ පත සඳ යුගත රිව් ලෙසැ දිස් වීයැ
යහ නත අතුළ මල් පෙති කටු ලෙස් වීයැ
පිය කත දෙන රැඟුම් ගී නොමැ තොස් වීයැ
පබ වත නැති මෙ රජ විමනත හිස් වීයැ.


(අලගියවන්න - කුසදා)

ප.ලි

* ගුරුළු සංදේශය නමින් දක්වා ඇත්තේ "සේන අම්බලංගොඩ ශූරීන්" විසින් පැරණි සංදේශ කාව්‍ය වල රටාව අනුගමනය කරමින්, වත්මන් ජනපතිවරයාව අතිශයෝක්තියෙන් වනමින් ලියූ සංදේශයක් බව මේ පොත කියවාගෙන යද්දී තැනින් තැන යොදාගෙන තිබෙන උදාහරණ ඇසුරින් හිතා ගත හැකි විය. සේන මහතා ගේ දක්ෂතාවයට මෙය කදිම නිදසුනකි...

Friday, January 13, 2012

අඩියක් ගහමුද?

මත්පැන් වර්ග ගොඩාක් තියෙනවානේ... රා, අරක්කු, වයින්, බියර්, විස්කි, බ්‍රැන්ඩි වගේ නීතියෙන් ප්‍රශ්නයක් නැති ඒවා වගේම කසිප්පු සහ කසිප්පු වගේ හදන හොර මත්පැන් වර්ගත් එමටයි.... මං මේ කියන්ට යන්නේ මත් පැනින් ගැලවෙන්ට මට ලැබුණු අවස්ථා ගැන සහ මං ඒවයින් ගැලවුනු තරම ගැන..

අපේ අප්පච්චි තරුණ කාලෙ ඉඳලම හොඳට බිවුව කෙනෙක්.. එයා බිවුවයි කියලා රණ්ඩු සරුවල් කර ගන්නේ වත් සවුත්තු වෙන්නේ වත් නැති කෙනෙක්.. ඒ වුණාට ගෙදර අපිට නම් එතකොට කණක් ඇහිලා ඉන්ට නෑ.. දොස් කියනවා.. ඉතිං ඕක හින්දා පුංචි කාලෙ ඉඳං මගෙ හිතේ ඔය මත්පැන් ගැන ඒ හැටි පැහැදීමක් තිබුණේ නෑ..

ඒක තමයි මට ලැබුණු පළමු අවස්ථාව මත්පැනින් වැළකෙන්න.. පටන්ගන්නෙම නැතිව ඉන්න තිබුණා.. 

ඒත් ටික ටික ලොකු වෙද්දී සිගරැට් කෙරෙහි තිබුණු විරෝධය හොඳටෝම වැඩි වෙලා  මත් පැන් වලට තිබුණු විරෝධය ටිකක් අඩු වුණා.. එතකොට මට හිතුණේ මත්පැන් ගානට ගන්නවානම් සහ බිවුවට පස්සේ ඒ විදිහට ඉන්නවානම් අවුලක් නෑ කියලයි.. කොහොම වුණත් පාසැල් යනකම් බොන්නේ නෑ කියලා හිතේ තියාගත්තා..

උසස් පෙළ කරලා ඉවර වෙලා දවසක් බිවුවා...  බීලා පළපුරුද්ද තිබුණු අයත් එක්ක බිවුවත් එයාල තරම්ම හොඳට බොන්නත්, බීලා වැඩිය අවුලක් නැතුව ඉන්නත් මට පුළුවං වුණා.. ඊට පස්සේ බොන්න ලැබුණු ආරාධනා වලට ගිහාම ඉතිං මාත් ටිකක් බොන්න පුළුවං එකෙක් විදිහට තමයි සැලකුණේ.. ඉතිං මට දැණුනේ මට වීරත්වයක් ආරෝපණය වුණා වගේ..

අවුරුද්දක් විතර යනකොට මට බොන එක ගැන දෙපාරක් හිතන්න අවස්ථාවක් ලැබුණා..

ඒ මගේ යාළුවෙක්ගේ ගෙදරක තිබුණු පාටියක බොන්න සැට් වෙලා.. යාලුවගේ තාත්තගෙන් බැණුම් ඇහුවා.. හරිම ලැජ්ජාවක් දැණුනේ.. ටික කාලයක් ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කරමින් බොන්නේ නැතුවත් හිටියා.. ඊට පස්සේ යාලුවන්ගේ ගෙවල් වලදී, වැඩිහිටියෝ ඉන්න තැන් වලදී බිවුවේ නෑ.. මෑතක් වෙනකම්..

තවත් අවුරුද්දකින් විතර තවත් අවස්ථාවක් ආවා..

හික්කඩුවේ මුහුදු වෙරලට ගිහිං ගොඩාක් බිවුවා.. ඊට පස්සේ මුහුදෙන් අත හෝදන්න යන්න හදනකොට මගේ මිත්‍රයෙක් ඒක වැළැක්වුවා... ඊට පස්සේ මට මාව පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ.. ටික වෙලාවකින් පස්සේ මං මොනවා කිවුවද කෙරුවද කියලා මට මතකත් නෑ.. පස්සේ හෝටලයක් කාරිය දාලා පොඩි ඇලට් එකකුත් දැම්මට පස්සේ පොඩ්ඩක් පියවි සිහියට ලං වුණා.. එදායින් පස්සේ මං බිවුවට පස්සේ හැසිරෙද්දී බොහොම පරිස්සම් වුණා.. බිවුවට පස්සේ අපි තුළ තියෙන පාලනය අඩු වෙන බව මට තේරුණා.. ඒ හින්දා ඊට පස්සේ කවදාවත් ඒ වගේ අශෝබන සිද්ධි නම් වුණේ නෑ..

තවත් අවුරුදු දෙකකට විතර පස්සේ.. තවත් අවස්ථාවක්..

ලෙමන් ජින් එකකුයි, ගල් බෝතලේකුයි කලවමට බීලා... පහුවදා අනාත වුණා.. කන්නත් බෑ, ඔලුව රිදෙනවා.. වැඩක් කරන්නත් බෑ.. පුදුම දුකක් වින්දේ..  ආයෙත් කලවමේ බොන්නෙත්, ලෙමන් ජින් බොන්නෙත් නෑ කියලා හිතාගත්තා.. ඊට පස්සේ අවුරුදු 11 කටත් ටිකක් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව.. බොහොම කලාතුරකින් පමණක් මඳ පමණින් සප්පායම් වෙලා ෂේප් එකේ හිටියා..

පහුගිය දෙසැම්බර් 31 වෙනිදා තවත් අවස්ථාවක් ආවා..

මගේ මිත්‍රයෝ දෙන්නෙක් වොඩ්කා ස්මර්නොෆ් එකකුත් අරං ආවා.. කවදාවත් ගෙදරදී සැර මත්පැන් බීලා නැති මං (මීට මාස කීපයකට කලිං බියර් එකක් අපේ නෑදෑයොත් එක්ක බිවුවා) . කෝඩියල් නෙවෙයි මොන මඟුල කලවම් කළත් බොනකොට උගුර පිච්චිලා යනවා වගේ දැනුණා.. එකෙක් වාහනේ එලවන්ට කියලා බියර් එකකින් සප්පායම් වුණු නිසා.. වොඩ්කා එකට අපි දෙන්නෙකුට වග කියන්ට වුණා.. මගේ බිරිඳ කවදාවත් දැකලා නැතිලු මං එච්චර වෙරි වෙලා ඉන්නවා.. (ඇත්තටම මං දෙතුන් පාරක් ඔය වගේ සමහර විට ඔයිටත් වඩා වෙරි වෙලා තියෙනවා..) ..  පහුවදා සැප කණේ..  

ඔලුව රිදෙනවා... බඩ පපුව පිච්චිලා කියන්නේ.. බිස්කට් එකක් කෑවත් දැවිල්ලයි.. ආයි නම් ඔය මළ ජරාව (වොඩ්කා)  බොන්නේ නෑ කියලා හිතා ගත්තා... 

දැං මේ අවස්ථාවත් මඟ අරිනවද...........?

ඊට පස්සේ මං මෙහෙම හිතුවා..

මං ඇයි බොන්නේ.. ? ඇත්තටම බොන්න හේතුවක් නෑ.. (Just for nothing..)
බිවුවාම මට තියෙන සතුට මොකක්ද..?  හිනාවෙලා, විහිලු කරලා, සංතෝෂෙන් ඉන්න පුළුවන්.. මං කොහොමත් එහෙමනේ ඉන්නේ..
වෙන වාසියක් තියෙනවද? රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරන්න ඇල්කොහොල් හොඳයි කියනවා නේද? ඉතිං එහෙම ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගත්තම ඉවරයි නේ..
යාලු මිත්‍රයෝ ඇසුරු කරන්න හොඳ ක්‍රමයක් නේද? ඔය ටිකම බොන්නේ නැතුවත් කරන්න පුළුවන් නේ.. 

බොන එක නවත්තන්න තියෙන හේතු මොනවද?
තමන් කෙරෙහි තියෙන තමන් ගේ පාලනය දුර්වල වීම, අනතුරු, රණ්ඩු ආදී දේවල් වලට පැටලීමේ අවදානම වැඩි වීම, යහ සමාජය තුළ කිසියම් පිළිකුලකට ලක් වීම, මුදල් නාස්ති වීම, ගැස්ට්‍රයිටීස් වැනි රෝග වලට අත වැනීම....... හපොයි කොච්චර අවාසි තියෙනවාද?

ඔන්න මං මේ අවුරුද්දේ බොන්නේ නැතුව ඉන්න අධිෂ්ඨාන කළා..

අඩියක් ගහමුද...? මට නං බෑ.. උඹලට ඕන්නං ගහපල්ලා....

මත්පැන් ගැන දනිමි පොඩි කාලේ සිටම
ඇල්මෙන් නොසිටියෙමි මම බිඳුවක් තරම
මල් මෙන් සිටිය අපි පාසැල් නිම කරම
මිතුරන් සමඟ එක් වූ කරුමෙක මහිම

දවසින් දවස තෝරා බේරා නිසි දේ
වයසින් වැඩුණු මුත් අත් හැරියෙමි හරි දේ
නිවසින් දුරුව පානය කළ මුත් එම දේ
සතොසින් කියමි, නවතමි මත්පැන් සුහදේ..

Thursday, January 5, 2012

කොස් ඇට, දොඩං හා අහවල් ඒවා..(18+ වඩාත් සුදුසුයි)





අලුත් අවුරුද්දේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ පළවෙනිම වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලිපිය දාන්න යනවා...

ඔන්න දැං ඉතිං ඔයාලා හිතන්ට පුළුවං රංග ගේ උපදෙස් මාලාව කියවලා වත් ද මං මේ ලිපිය මෙහෙම ලියන්නේ කියලා.. එහෙම්මම නෙවෙයි.. මට මේ ලිපිය ලියන්න මතක් වුණේ පහුගිය අඟහරුවාදා උදේ බස් එකේ එද්දී..

මං ගැටයා කාලේ.. ඒ කියන්නේ මීට අවුරුදු 17 කට විතර ඉස්සර.. මං ඉස්කෝලේ ගියේ, අවිස්සාවේල්ලේ ඉඳලා කොල්ලුපිට්යට. ටියුෂන් පංති ගියේ නුගේගොඩට. ඔවු.. ඔවු.. අවිස්සාවේල්ලේ ඉඳලම තමයි.. මීට කලිං ලිපියක මං සඳහන් කරපු යාලුවා එක්ක තමයි මං නුගේගොඩ පංති ගියේ හුඟක් වෙලාවට.. සමහර දාට තවත් යාලුවෝ එකතු වුණා..

දවසක් මේ යාලුවයි මායි සුනිල් මෙන්ඩිස් සර් ගේ පංතියට ගියා.. ඉන්ටර්වල් එකේදී මගේ යාලුවා උරහිසේ අමාරුවක් තියෙන කෙනෙක් වගේ අත එහාට මෙහාට කරනවා..



මොකද බං.. මං ඇහුවා..


නෑ බං උදේ එනකොට, අහවල් එකක් කරේ තියාගෙන ආවනේ..
එතකොටයි මට මතක් වුණේ.. අපි දෙන්නා ආපු සීට් එකේ යාලුවා ආවේ ජනේලෙට සම්බන්ධ නොවන පැත්තේ සීට් එකේ වාඩි වෙලා.. මං තමයි ජනේලෙ පැත්තේ වාඩි වෙලා ගියේ.. ගෑනු කෙනෙක් මගේ යාලුවා ගේ ඇඟට හේත්තුව දාගෙන ආවා මටත් මතකයි.. ඒ කාලේ බස් වල අද කාලේ බස් වලට වඩා සෙනඟ වැඩියි. කොහොමට ත් අක්කලා ඇවිත් අහවල් එක කරෙං තිබ්බාම අපට බෑ කියන්න බෑ නේ.. අපි කොයි තරම් අසරණ ද නේද?


ඒත් හිටපු ගමං අයියලා එනවා කොස් ඇටේ කරෙන් තියන්න. 
ඒක තමයි ඉවසන්නම බැරි කට්ට. ඒ වෙලාවට මං නං දෙපාරක් තුන් පාරක් සීරු මාරු වෙලා බලනවා ශේප් එකේ විසඳගන්න පුළුවන්ද කියලා.. බැරිම නං මූණටම කියනවා.. අයියේ ඔය කොස් ඇටේ පොඩ්ඩක් එහාට ගන්න කියලා.. දවසක් ඔහොම කියන්න ගිහිං අයියා කෙනෙක් මගෙත් එක්ක පොඩි කොක්ක කුත් දා ගත්තා.. මිනිහා කියනවා..
උඹලට අපි පොඩ්ඩක් ඇඟේ වැදුණොත් තමයි අමාරු.. මෙච්චර වෙලා කෙල්ලෙක් ඇඟේ ගෑවි ගෑවි ගියා.. ඔය අගේ ට හිටියේ..

ඔවු ඉතිං මං කොල්ලෙක්නේ.. කෙල්ලෙක් ඇඟේ වැදුණට අමාරුවක් නෑ.. තමුසේ මොකද කියන්නේ කියලා.. (මං දැං මෙහෙම හිටියට ඒ කාලෙ ටිකක් සැරයි හොඳේ..)

ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට මං යන්නේ අවිස්සාවේල්ල කොළඹ පරණ පාරෙන්. ඒ බස් වල සෙනඟ එකයි. ඉඳගන්න ජනේලෙ අයිනෙන් සීට් එකක් හම්බවෙන්නේ කලාතුරකින්.. අනික් දවසට ඉතිං ඔෆිස් යන අක්කා කෙනෙක් මාව අපහරණයට ලක් කරන එක සාමාන්‍ය දෙයක් වගේ.. එක්කෝ මං අහවල් එක කරේ තියං යන්න ඕන, නැත්නං දොඩං වල පහස විඳින්න ඕන. ඔන්න ඉතිං මං ගැන වැරදියට එහෙම හිතනවා නෙවෙයි.. මං ඒවට මෙහෙමයි කියලා සහයක් දීලා නෑ.. කිඹුලෙක් වගේ ඔහේ ඉන්නවා මිසක.. මොකෝ විරුද්ධ වෙලා ගුටි කන්නයෑ..

ඉතිං කොහොම හරි කාන්තාවන්ට හිරිහැර කරන්න එපා කියලා බස් වල පුවරු තිබුණට පිරිමින්ට හිරිහැර කරන්න එපා කියලා ... අඩු ගානේ පිරිමි ළමුන්ට හිරිහැර කරන්න එපා කියලා බෝඩ් එකක් තියෙනවද?
අවංකවම කියනවා නං අක්කලාගෙන් මල්ලිලා බොහෝම පරෙස්සං වෙන්ට ඕන.. උං ඉලක්ක කරන්නේ අවුරුදු 22ට විතර අඩු පුංචි මල්ලිලාව කියලා මට හිතෙන්නේ දැං අවුරුදු ගානකිං මාව අපහරණය කරන්න කවුරුවත් සැට් වුණේ නැති හින්දා..

කොස් ඇට, දොඩං සමඟින් අහවල් ඒවා
බස් එක තුළ දි අපි කර ගහගෙන ආවා
සැපතත්, දුකත් සමඟින් නෙක රස ගාවා
තෝරා දෙන්න තේරෙන්නේ නෑ මේවා..
ප.ලි.
මෙය විහිලුවක් විදිහට ලියූවද සමාජ යථාර්තයකි. එය අප හිතනවාට වඩා සමාජය වෙනස් කරණ සාධකයක් ද විය හැක..

පිංතූරෙ ගත්තේ මෙතැනින්..