Wednesday, December 14, 2011

කවි හදන හැටි - 8 (සංක්ෂිප්ත කාව්‍ය සිද්ධාන්ත)

කවි හදන හැටි (හැඳින්වීම)කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද)කවිහදන හැටි - 3 (සුභ ගණයෙන් කවි ලියමු),  කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)කවි හදන හැටි - 5 (යතිය, එලි සමය, එළි වැට සහ පාද.)කවි හදන හැටි - 6 (දශ මහා ගුණ)කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ) නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.

* අලංකාරය පිණිස මිස, කවියක් තුළ එකම වචනය පද දෙකක හෝ දෙතැනක හෝ නොයොදන්න
* පදයක කෙළවර (එළිසම) සුරැකීමට ගියේයා, කළේයා වැනි බොරු වචන නොයොදන්න
* කවියක් අලංකාරය සඳහා බොරු නිපාත පද නොයොදන්න.
* පදයක භාගයකින් පටන් ගත් කොටස විසන්ධි කොට ඊලඟ පදයට රහසේම එකතු නොකරන්න
* අදාළ සමාස හැර අසමාන සමාස කවියකට නොයොදන්න
* ස්වභාෂා වචන හැර (අත්‍යවශ්‍යම වචන හැර) වෙනත් භාෂාවන්ගේ නොතේරෙන වචන නොයොදන්න
* චන්දස රැක ගැනීම සඳහා යා-යේ-යෝ ආදී අකුරු අනවශ්‍ය ලෙස නොයොදන්න
* අඩු හෝ වැඩි මාත්‍රා නොයොදන්න
* එකම වෘත්තය හෝ ශ්‍රැතියම භාවිත නොකරන්න
* කාව්‍ය ගායනයේ දී භාව නියෝජන කරන්න
* අසත්‍ය වන කරුණු නොගලපන්න

වර්ණනා කිරීම කවියාගේ කාර්‍යයයි. ඇසට, කණට, නැහැයට, දිවට, ශරීරයට හෝ මනසට ගොදුරු වන දෙය වර්ණනා කිරීම කවියාගේ යුතු කමයි..

පොළොව මතුපිට පමණක් නොව පොළොව යටටම කිමිදීත්, මුහුදු පතුලටම කිමිදීත් අහස සිසාරා පියා සරාත්, විශ්ව ගවේශනයටත් කවියාට ශක්තිය ඇත.

ස්ත්‍රී - පුරුෂ, ලොකු-කුඩා, බාල-මහලු, රජ- ඇමැති, පූජ්‍ය-පුජක සෑම දෙනෙකුම වශීකෘත වන විරිත් අනුගමනය කරන්න. විශේෂයෙන් කමලා, මිණිපොකුරු, වැනි වෘත්තයන් තුළින් උපමා රූපක වැනි අලංකාරයන් උපයෝගී කර ගනිමින් සත් කාව්‍ය නිර්මාණය කිරීමට උත්සාහ ගන්න.

අසත්පුරුෂ වූ මිනිසුන් සත්පුරුෂයන් කරන්නට හැකිවන ආකාරයේ කවි උපයෝගී කරගන්න. කවියෙකුට කවි සමයක් එනම් නීති රීති පද්ධතියක් ඇත.

කවියක් රස ලියමින් රැක සඳැසේ රස රහස
රසයෙන් සරු ගුණයෙන් ගරු වියමන් පිය පහස
නොනසා බස සනසා සිත මුදවා කවි දෝස
කවියෙන් නිති බබලන් සකි එළිකර කවි අහස

(කමලා නම් වෘත්තය)

කවුරු බැලුවත් සතුට වඩනා
ලියමු කවි අපි රසය රඳනා
සොඳුරු විරිතුත් හැඳින අගනා
බඳිමු කවි මල් මිහිර පෙරනා

(මිණි පොකුරු නම් වෘත්තය)

2 comments:

  1. හැමදාම චතුර මල්ලිගේ ලිපි ටික මුල ඉඳලම කියවන්න හිතා ඉන්නවා. ඒ උනාට ඉවරයක් ලැබෙන්නේ නෑ. කොහොම හරි ඉක්මනින් කියවන්න ඕනෙ. හරිම වටිනවා මට මේ ලිපි පෙල. ස්තූතියි!

    ReplyDelete
  2. විවේකයක් ලැබුණාම කියවන්න අක්කා..මොනවා හරි උදවුවක් ඕන නම් කියන්න..

    කමෙන්ටුවක් දාලා දීපු සහයෝගෙට බොහොම පිං..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..