Tuesday, June 14, 2011

බුදු මඟ නොවෙද අප යායුතු නොපමාව!

අතපය මිසක වෙන කිසිවක් ගෙනත් නැතී
ලෝකයෙ ඉපිද විඳිනා දුක් නිමක් නැතී
සතුටින් සැනසුමෙන් ඉන්නට බයක් නැතී
තිර විසඳුමක් දෙන්නේ බුදු දමයි නිතී


ඉපදුම, දිවි ගෙවුම, මරණය හමුවීම
දුක මිස වෙනත් තිබුණිද සුවයක් කෝම
අකුසල් නොකර හැකි තරමක් ඉවසීම
කුසලට යෙදූ සිත කදිමයි පැහැදීම


හෙට වෙන තුරු නොසිට ඒ මග වෙත යන්න
අද මේ දැන්ම පිවිසෙමු එමඟට ඔන්න
දුරලමු සිතින් කයෙනුත් දුසිරිත් ගොන්න
හැමවිට රකිමු පිළිවෙත් සැම තුටු වෙන්න



Thursday, June 9, 2011

මම සමු ගනිමි


....................ජීවිතයෙන් සමු ගනිමි..................


හිත පිපිරුවා ඇති යුතුකම් සිහිවීලා
හිස පිපිරුවා විසඳුම් නැති බැවු දැනිලා
හෙණ පිපිරුවත් ඉවසිය හැකි සැනසීලා
නුඹ පිපිරුවම මගෙ හිත නිති යයි දැවිලා


පාසැල් ගාස්තුයි ටියුෂන් ගාස්තුවයි
ඉල්ලා පුතා නිතරම බර බරේ දමයි
ණය වී ගත්තු දෝණිගේ රන් මාල පොටයි
උකසට සින්න වෙන්නට තව මාස දෙකයි


දවසට පැය අටක් දහයක් වැඩ කරලා
ඉපැයූ දෙයින් ගිය මස ණය ටික ගෙවලා
දින දෙක තුනක් ගිය විට පඩි පත ලැබිලා
මුදලක් ඉතිරි නෑ වියදමකට කියලා


යටි මඩි ගැහිලි අද හැම තැන තියෙන්නේ
මගෙ හිත එවැනි දේකට නෑ නැමෙන්නේ
පුළුවන් විදිහටයි වියදම හොයන්නේ
සොඳුරියෙ කිමද එය තේරුම් නොගන්නේ


රහමෙර බිව්වේ සාදයකදි බැරිම විට
කාලය ගෙව්වේ අඹු දරුවන් පළමු කොට
මොහොතක් යෙදුනේ නෑ පර අඹු ඇසුර කට
වරදක් කළේ නෑ කවදාවත් නුඹට


පොඩි පැටවුන්ට මෙතරම් ආදරය කළ
මා වැනි පියෙකු උන්ටත් නොවටිනා කල
මුදලට තවත් මට පෙම් කළ නොහැකි කල
ජීවත් වුනත් මා මෙනි පෙර දිනක මළ


සොඳුරිය තවත් මා ගැන නොම සිතනු මැන
ගොඩ ගනු මැනැවි දූ දරු දිවි හැකි පමණ
මම සමු ගනිමි නුඹ හැමගෙන් සිත දුකින
ඔබ හැම දිනේවා! පතනෙමි හදවතින...




පසුව ලියන වගනම්....
මෙය මගේ අත්දැකීමක්ම නොවේ. මා සමාජයේ දුටු දෙයක්මත් නොවේ. හුදු පරිකල්පනයක්මත් නොවේ. ඒ සියල්ලේ එකතුවකි. මුදල් මූලික සමාජයක මුදල් පසුපස හඹා නොයන, ලැබෙන මාසික වැටුපෙන් දිවි ගෙවන අවංක පියෙකුගේ කතාවෙහි කොටසක් මෙහි ඇත. ඇත්තෙන්ම සමස්ථ කතාව මෙයිටත් වඩා භයංකරය. මන්ද ඔහුට මේ ආකාරයට හිත හදාගෙන මේ සමාජයෙන් සමු ගන්නට තරම් හිතේ හයියක් නැති බැවිනි.

අපගේ සිද්ධාර්ථ බෝධිසත්වයින් නම් මෙයට වසර 2600 (ආසන්න වශයෙන්) කට පෙර හිත තද කරගෙන මහභිනිශ්ක්‍රමණය කළෝය. ඒත් උන්වහන්සේට යැපෙන්නන් හිටියේ නැත. යසෝදරාවට නැතිවුනේ හිමිසඳ හා ඔහුගේ පහස පමණි. සියලු යස ඉසුරු ඇයට තිබුණි.(ඇය ඒවා භුක්ති නොවිඳිම වෙනත් කාරණයකි) රාහුල පොඩි පුතුට අහිමි වුණේ පියා පමණි. එහෙත් පියාගෙන් ඉටුවන යුතුකම් සියල්ල ඉටුවිණි.  එහෙම බැලුවාම උන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නට පෙර පස්මහ බැලුම් බලපු කතාව ඇත්තක් විය යුතුයයි මට හැඟෙයි.

එහෙත් මෙහි කථා නායකයාගෙන් යැපෙන්නන් බොහෝය. ඔහු වන ගත වුවහොත් ඔහුගේ මා පියන්ට, දරුවන්ට, බිරිඳට යන කල කුමක්දැයි සිතන කල්හි ඔහුට හිත තද කර ගත හැකිද?

පන්සල් හංදිය බ්ලොග් එක ලියන කල්හාර සහෝදරයගේ බඳින්නෙ කොහොමද ඉන්න තැනක් නැහැ හරි හමන් ආදායමක් නැහැ කියන ලිපියේ කියලා තියෙනවා රුපියල් 10,000 ට වඩා වැටුප් තියන රස්සාවක් ලංකාවේ හොයාගන්න එක අමාරු නෑ  ඒ වගේම බිරිඳ සහ සැමියා දෙදෙනාම රැකියාව කළ යුතුයි කියලා. ඔවු ඒ විදිහට කළොත් ජෝඩුවට නම් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ යුතුකම් කියලා ජාතියක් නම් ඉෂ්ඨ කරන්න වෙන්නේ නෑ. අද කාලේ මවුපියන්ට සලකගෙන, දරුවෝ දෙන්නෙක් නඩත්තු කරගෙන යාළුවන්ටත් අවශ්‍ය වෙලාවට උදව් කරගෙන බොහෝම සුළුවට ජීවත් වෙන්න අඩුගානේ රුපියල් 55,000 ක වත් මාසික ආදායමක් අවශ්‍ය බවයි මගේ හැඟීම. ඒත් ඒ ආදායමෙනුත් ජීවත් වෙනවට වඩා යමක් කරන්න අමාරුයි. එහෙම බැලුවාම ලංකාවේ පවුල් කීයකට ඔය 55,000 සීමාවටවත් ලංවෙන්න පුළුවන්ද කියලා හිතලා බැලුවාම මගේ කතා නායකයාට මෙහෙම හිතෙයි කියලයි මං හිතුවේ....

ඔයාලටත් හිතෙන්නේ මොනවද කියලා ලියලා යන්න පුළුවන් නං පංකාදුයි...