Friday, February 25, 2011

මිතුරු තොමෝ....

පහුගිය කාලේ බ්ලොග් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒත් මං හිතින් ගොඩක් දේ ලිව්වා. බස් එකේ පැය 1-2 ක ගමනක් තියෙනකොට හිතින් තමයි බ්ලොග් ලියන්න වෙන්නේ. බස් එකේ යනකොට වෙනත් ක්‍රම වලින් යනවට වඩා අපූරු සිදුවීම් සිද්ධ වෙනවා.
ඊයෙ උදේ බස් එකේ එනකොට කවදාවත් හැබැහින් දැකලා නැති, ඒත් හොඳට හුරු පුරුදු පෙනුමක් තියෙන කෙනෙක් මාත් එක්ක කතා කළා. ඒ අපේ දුකා. හරිම පුදුමයි. පහුගිය දවස් ටිකේ වෙබ් එක පැත්තෙ එන්න බැරි වුණු නිසා දුකා ලංකාවට ආපු බව වත් මං දැනං හිටියේ නෑ. ඒත් වැඩි වෙලා කතා කරන්න ලැබුණේ නෑ. මොකද දුකා බහින තැන එතකොට ලංවෙලා තිබුණු නිසා. ඒත් ඊයේ දවස පුරාම දුකාව හමු වුණු සතුට මගේ හිතේ තිබුණා. තාමත් තියෙනවද කොහෙද? අනුන්ගේ දුක තමන්ගේ දුකක් ලෙස හිතන කෙනෙක් ලෙස තමයි මං දුකා ගැන හිතාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොග් ලියන හැකියාව පොඩ්ඩක් හරි වර්ධනය කරගත්තේ දුකාගේ බ්ලොග් ඇසුරු කිරීමෙන් කියලා මට හිතෙනවා. එහෙම බලනකොට දුකා මගේ ගුරා.

බස් එකෙන් බහින්න කලිං දුකා ඇහුවා දැන් මාස දෙකකින් විතර බ්ලොග් එක ලිව්වේ නෑ නේද? කියලා.. යාළු මිත්‍රයෝ ගැන හොයලා බලන ගුණය ඔහුට තියෙනවා කියලා මට එතකොට තේරුණා... දැං ඉතින් දුකා ගැනම ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නෙව.  මං හිතුවා මං කලිං දාපු බ්ලොග් ලිපියක් මේ බ්ලොග් එකට පෝස්ට් කරන්න. මං ඒ ලිපියෙන් කිව්වේ (නෑ... ලිව්වේ) සමහර අහඹු හමුවීම් නිසා අපේ ජීවිතයම වෙනස් වෙන බව.

ඒ වගේම කාලයක් තිස්සේ යම් මිත්‍රයන් ආස්‍රය කිරීම නිසාත් අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් මඟක් ගන්නවා... ඒ හුඟාක් වෙලාවට ඔවුන්ගේ යම් විශේෂ ගතිගුණයන් අප තුලට ආරෝපණය වීමෙන්.

සයිබර් අවකාශය තුල මං හොඳටම පුංචි කෙනෙක්. ඒත් මං ඒ දුර වත් ආවේ බොහෝ දෙනාගේ සහයෝගය ඇතුව.  දුකාට අමතරව නුවන්, මින්දද, බන්දුල අයියා, ඩීන් අයියා, දිල්, සඳුන්, සූරි, දුල්, අමල්කා, තිස්ස අයියා, වැප් වගේ බොහෝ දෙනෙක් මාත් එක්ක හිටියා.. ඒ හැමෝටම බොහොම ස්තුතියි..

අපේ ඉලංදාරියා බ්ලොග් එක ලියන දිලුම් මල්ලිගේ අසනීපය ඔයාලා දන්නවා ඇතිනේ. ඔහුට පිහිට වෙන්න අපේ දුකා ඇතුළු සයිබර් අවකාශයේ මිතුරන් එකතු වෙලා ඉන්න විදිහ ගැන හරි සතුටක් දැනෙනවා. මටත් ඔවුන් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න තිබුණා නම් කියලා හිතෙනවා. ඒත් ආර්ථිකයත් කාලයත් එක්ක දරුණු සටනක නිරත වෙලා ඉන්න මේ අවස්ථාවේ මට දෙන්න පුළුවන් සහයෝගය අවමයි. ඒත් මං ඔවුන්ගේ සත්කාර්‍යය සාර්ථක වෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා.


අහඹු හමු වීමකින් ජීවිතය වෙනස් විය හැකිද?

ජීවිතයේ අපට බොහෝ දෙනා හමු වෙනවා. එයින් ටික දෙනෙක් බොහෝ කල් අප සමඟ සමීපව වෙසෙනවා. තව සමහරු ටික කලක් සමීපව ඉදලා පස්සේ දුරස්ව ආශ්‍රය කරනවා. සමහරු දකින්නෙත් එක දවසයි. සමහරු හමු වී සුළු මොහොතකින් ජීවිතය පුරාම වෙලෙනවා. ඔය විදිහට හමුවන අය විවිධ විදිහට අපට අපේ ජීවිත වලට බල පානවා. මෙයින් එක කොටසක් ඉන්නවා අහම්බෙන් හමුවෙලා අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන. මං අද මේ ලියන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ අහඹු හමු වීම ගැනයි.

එතකොට මං උ/පෙ කරන්න පටන් ගත්තා විතරයි. මං ජීවත් වුනේ අවිස්සාවේල්ල පලාතේ. අපි එහෙට අළුතින් ගිය නිසාත් මං උ/පෙ කරන්න කලිං බෝඩිං වෙලා හිටිය නිසාත් මට අවිස්සවේල්ල පැත්තෙ යාළුවො හිටියෙ නෑ. දවසක් ග්‍රේරු සර් ගෙ පංතියට ගිහිං හවස ගෙදර එන්න ඉන්නකොට CTB බස් එකක් ආවා. මං අත දැම්මා. බස් එක නවත්වන්න වගේ ඇවිල්ල නවත්තන්නෙ නැතුව යන්න ගියා. මාත් බස් එකේ එල්ලෙන්න ගිහිං බස් එක ගිය නිසා නැවතුනා. තවත් කොල්ලෙක් මං කරපු දේ ම කළා. මං ඔහු දිහා බැලුවා. දුවමුද කියලා ඇහුවා. නුගේගොඩ හංදියේ ටිකක් තද බදය තිබුණ නිසා අපිට දුවන්න පුළුවං වුණා. මට ඉස්සෙල්ලා ඔහු බස් එකට නැංගා. ඉස්සරහා ආසනයක් ඉතුරු වෙලා තිබුණ නිසා ඔහු ඉඳගත්තා. මට ඉඳගන්න තැනක් තිබුණේ නෑ. ඒත් රියැදුරු අසුනට සමාන්තරව තියෙන අසුනේ කට්ටිය හරි බරි ගැහිලා මටත් ඉඳගන්න දුන්නා. මෙන්න ඊලඟ නැවතුමෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැංගා. මගේ මිත්‍රයාට ආසනය අහිමි වුණා. එයා දැන් මං ගාවට ආවා. මං එයාගෙ බෑග් එක ගත්තා. ටික දුරක් ගිහිං ආසනයත් දුන්නා. ඔයිං මෙයිං අපි දෙන්නා හොඳටම යාළු වුණා. ඊ ලඟට තව යාළුවො සෙට් එකකුත් හැදුණා. උ/පෙ කරලා අවුරුදු 2-3 යනකං ම මේ යාළුවොත් එක්ක තමයි ජීවිතයෙ දුක සැප බෙදා ගත්තේ. ඔවුන් එක්ක කරපු දේවල් ලියන්න ගියොත් නම් මේ බ්ලොග් එක ලියලා ඉවර කරන්න සෑහෙන කාලයක් යයි. ඒ තරම් ඔවුන් මගේ ජීවිතයට බල පෑවා. එදා බස් එකට දිව්වේ නැත්නම් සමහර විට මගේ ජීවිතය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. ඒ යාළුවගෙ නම ක්‍රිශාන්ත. අද ඔහුව ඉඳහිට ඇසුරු කලත් එතරම්ම සමීප නෑ. ඒත් ඔහු මගේ ජීවිතයේ ඉරණම බොහෝ සේ වෙනස් කළා.

හිරිමල් වියේ හමුවන මිතුරන්ට ජීවිතයට ලොකු බලපෑමක් කළ හැකියි කියලා මං නිතරම විශ්වාස කරන්නේ මේ කාරණාව නිසා වෙන්න ඇති.