Saturday, November 6, 2010

S.M.S. Star

සිරස සුපර් ස්ටාර් වලිං පටන් අරං, ඩාන්සින් ස්ටාර්, ලවිං ස්ටාර්, කොමඩි ස්ටාර්, ටැලන්ට් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, සිඟිං ස්ටාර්, ෂැඩෝ ස්ටාර්, ලිට්ල් ස්ටාර්, මෙගා ස්ටාර් වෙනකං එස්. එම්.එස් හෙවත් කෙටි පණිවුඩ හරහා ජයග්‍රාහකයා තෝරන තරඟ මාලා අපේ රටේ රූපවාහිනී නාලිකා තුලින් විකාශය වුණේ මිනිස්සුන්ට කොයි ස්ටාර් බලන්නද කියලා හිතා ගන්න බැරි විදිහට. මං නම නොකියපු ස්ටාර්ලත් ඉන්නවා නං තරහා වෙන්න එපා හොඳේ....


ඉතිං ඔය කොයි ස්ටාර් එකටත් වඩා අලුත් විදිහකට අපේ... ඒ කිව්වේ ශ්‍රී ලංකාවෙ අභිමානය කියලා කියන කට්ටියක් රටේ ඉන්න ජනප්‍රිය තරු ටිකක් ගෙන්නලා තරඟෙට දාලා, රටේ ඉන්න ජන - ප්‍රිය හා අප්‍රිය දෙගොල්ලන්ගෙන්ම හැදුනු විනිශ්චය මණ්ඩලයකුත් දාලා අපූරු ස්ටාර් එකක් කළා... ඒකෙ අරමුණ මට දැනෙන විදිහට, උසස් රසවින්දනයක් ඇති ශ්‍රී ලාංකේය ජනතාවට තමන් කාලයක් තිස්සේ ආදරය කරපු ගීත අමු අමුවේ විනාශ කරන හැටි බලාගෙන ඉවසීම ප්‍රගුණ කරන්න ඉගැන්වීම... ඒත් එතන හිටපු දයාසිරි ජයසේකර, දමිතා අබේරත්න, සනත් විමලසිරි වගේ උදවිය ඒ කටයුත්ත සාර්ථකව කරගන්න ඉඩ දුන්නේ නෑ.....
කොහොම කොහොම හරි අන්තිම තරඟෙට.... ඒ කිව්වේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට කවදාවත් නැතුව හතර දෙනෙක්ම ආවේ මොකද කියලා අපි නම් දන්නේ නෑ... හැබැයි දන්න අයත් ඇති...  අනේ ඉතිං මේ හතර දෙනාගෙන් අඩු තරමෙ දෙන්නෙකුට වත් අපේ කන් පිනවන්න පුළුවන් කියලා දැනගෙන හිටපු නිසා අපිත් කට උඩට හරවගෙන ග්‍රෑන්ඩ් ෆිනාලේ එක බැලුවා... දෙයියනේ කියලා ගෙදර තිබුණු ජංගම දුරකථන අංක හතරෙන් දයාසිරි මහත්තයට 3 කුයි සුරේශ් මල්ලියට එකකුයි ගහලා ඇඳට ගිහිං දොයියගත්තේ හෙට උදේ වෙනකොට දයාසිරි මෙගාස්ටාර් වෙලා ඉඳියි කියන පරම විශ්වාසයෙන්... ඒත්...


උදේ බලනකොට දයාසිරි දෙවැනියා.. සුරේෂ් තුන් වැනියා... අනේ අපොයි... මගේ බිරින්දෑට නම් හොඳටම හිතේ අමාරුවේ.... 


අයියෝ ඕකත් දුක්වෙන්න දෙයක් ද මං ඇහුවාම කට්ටිය මං දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති අළුගෝසුවෙක් දිහා බලන විදිහට...


ඉතිං මං පොඩ්ඩක් පැහැදිලි කරා.......


දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු හානියක් වෙනවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ වෙළඳ ව්‍යාපාර පවත්වගෙන යන්න අමාරු වෙනවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නවාද? නෑ...
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රට එක පවුලකට සින්න වෙනවාද? නෑ....
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවාද? නෑ....
දයාසිරි මෙගා ස්ටාර් වුනේ නෑ කියලා එයාව හෙට අනිද්දට හිරේ දායි ද? නෑ...


පහුගිය ජනාධිපතිවරණයේ දී ඔය ඔක්කොම වෙලත් අපි මේ අපූරුවට කට පියාගෙන ඉන්නේ...


ඒක නම් ඇත්ත...... කට්ටියම මුමුණමින් තමන්ගේ වැඩක් බලා ගත්තා....


කොහොම හරි ඉතිං මෙගා ස්ටාර් ඉවර වෙලා ගුටි කෙළියක් ගියා කියලා පසුව දැන ගත්තා..... සමහර විට මෙතනින් ජනතාව පාඩමක් ඉගෙන ගනියි.... ඔව් ඒත් ඉගෙන ගත්ත පාඩම ඉක්මනින්ම අමතක කරයි.....


හොඳ හොඳ ස්ටාර් එළිවෙන ජාමෙට ලූ නේ....













6 comments:

  1. රටේ එච්චර ප්‍රශ්ණ තියෙනවා. ඇයි එහෙනම් මිනිස්සු මේ සද්ද නැතිව ඉන්නේ.
    රටේ කවුරු හරි බඩගින්නේ මැරුනද(හීනෙන් වත්)
    රට ජත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වුනාද(උදාහරනයක් දෙන්න බලන්න.ඔබගේ වර්ගයේ අයට ඉතිං ජාත්‍යන්තරය කියන්නේ බටහිර රටවල්නේ)
    ඔබගේ ගෙවල් ලග කඩ කීයක් වැහිලාද
    1988 1987 ට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වී තිබෙනවද
    නුබ දන්නවානම් කියන්න බලන්න අඩුම තරමේ රටේ දේපල 5 ක්වත් ඔය කියන පවුල අයිති කරගෙන තියෙන

    දන්න දෙයක් කියන්න. නිකන් කියන්නන් වාලේ කට මැත දොඩවන් නැතුව.

    ReplyDelete
  2. @Kadawara
    දෙයියෝ උදහස් වෙලා වගෙයි.... කෝප ගන්න කාරී නෑ... මං හිතන්නේ මං ඉන්නේ ඔබ තුමාගේ රටේ නෙවෙයි.... ඔබ තුමා කොයි තරං වාසනාවන්ත ද? ඔබ තුමාගේ රටේ කිසි ප්‍රශ්ණයක් නෑලු නේ...? ඔබතුමාගේ අති දක්ෂ කමෙන්ටුව නිසා රටේ ප්‍රශ්ණ ටික කොහේ ගියාද දන්නේ නෑ....

    මිනිස්සු සද්ද නැතුව ඉන්නේ එයාලට ප්‍රශ්ණ නැති නිසා කියලද හිතන්නේ.... සමහර විට එහෙම වෙන්න ඇති... හැබැයි මං නං සද්ද නැතිව ඉන්නේ මගේ තියෙන නිවට බියගුලු කමට.... ජීවිතේට තියෙන තණ්හාවට... මගේ පොඩි එවුන්ට යන එන මං නැති කරන්න තියෙන අකමැත්තට... කළු ගලේ ඔළුව හප්පගන්න තියෙන අකමැත්තට...

    රටේ කවුරුත් බඩගින්නේ මැරුණේ නම් නෑ... මැරි මැරි ජීවත්වෙනවා...

    මගේ වර්ගය ඔයා හරියටම දන්නවා වගේ... අපි ඉතිං ත්‍රස්තවාදියෝ නේ... එහෙම නැත්නම් ප්‍රතිගාමියෝ... මගේ ජාත්‍යන්තරයට නම් ලෝකයේ හැම රටක්ම අයිතියි. බටහිර ජාතීන් ජාත්‍යන්තරය තුල අත්කරගෙන තියෙන බලවත් කමට ඊර්ෂ්‍යා කරන්නේ නැතිව චීනය, ජපානය වගේ ජාත්‍යන්තරය තුල බලවත් වෙන්න අපිත් උත්සහ කරන්න ඕනි.. කුහක කම් තියාගෙන ලෝකෙ දිනන්න බෑ යාළුවා...

    87-88 විතරක් නෙවෙයි පහුගිය අවුරුදු 40ක කාලය තුල විවිධ අවස්ථා වල විවිධ අයුරින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වුණා... ඒත් ඒවායින් යලි යලිත් ඒවා උල්ලංඝනය කරන්න කාට හරි බලය දුන්නා කියලා හිතන්න එපා..

    ව්‍යාපාර කියන්නේ කඩ කියන තැනට ලඝු කරපු එකෙන්ම ඔයාගේ මට්ටම මට හිතාගත හැකියි... වැහිලා හෝ වැහෙන්න යන ව්‍යාපාර කොයි තරම් තියෙනවාද කියලා සමීක්ෂණයක් කළොත් හොයා ගන්න පුළුවන්...

    ඒ ගැන දන්නෝ දනිති.. මං මොනවා කියන්නද..?

    මං කිව්වේ කට කහනවට... නොදන්න දේ ගැන කතා කළාට සමා වෙන්න.. ඔයා නම් බොහොම දැන උගත් කෙනෙක් බව පේනවා... බුදු හාමුදුරුවොත් කිව්වාලුනේ අසේවනාච බාලානං කියලා... ඒ හින්දා මං වගේ බාලයින්ගේ මෝඩ කියමන් වලට කමෙන්ට් දාලා ඔයාගේ තියෙන ඔය පණ්ඩිත කම කිලිටි කරගන්න එපා කියලා ආයාචනා කරනවා....

    ReplyDelete
  3. එලකිරි පෝස්ටුව. එක හරකෙක් උම්බෑ කීමෙන්ම ඒක පැහැදිලියි.
    87 88 කියන්නෙ නං හොද මන්තරයක් තමා. ඒත් ඒක දැං අහන්නෙ නැතිවෙලා.
    //නුබ දන්නවානම් කියන්න බලන්න අඩුම තරමේ රටේ දේපල 5 ක්වත් ඔය කියන පවුල අයිති කරගෙන තියෙන//
    මේකට නං යස උත්තරයක් දෙතෑකි. ඒත් කඩවර අයිය දැං කොහේ ඉන්නවද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මං මේකට උත්තර ලිවුවට පස්සේ හිතුවා අපරාදේ එහෙම ලිවුවේ කියලා.. මතකනේ අර දෙන්නෙක් බලු බෙට්ටක් තහවුරු කරගත්තු විදිහ.. ඒ විදිහටම තමයි මෙයාලා දේශපාලුවන්ගේ වැරදි තහවුරු කරගන්නෙත්.. හිකිස්..

      Delete
  4. කඩවර වැනි මිනිසුන් සමග රන්ඩුවට යාම නොකල යුතුය. ඔවුන්ගේ අයි කිව්
    (IQ) අගය ඉතා අඩුය.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..