Wednesday, March 31, 2010

ආදරණීය අබේ...




අපව හැරදා ගියද සමුගෙන
රැඳෙනු ඇත ඔබ සදා සවනත
එපමණක් නොව ඔබ ලබා දුන්
මිහිර අපමණ තරම් විය මට....

නොදැක ඇති මුදු නුඹව හැබැහින්
හදවතේ නුඹ හට ඉඩක් විය...
ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය
සදාකල් මා හදට සුවඳය...

අපව සැනසූ ඒ සොඳුරු හඬ
යලිත් පතනට දිරිය නැත මට
නිවන් පුර රන් දොරටු හැරගෙන
යන්න පිං පෙත් පතමු නුඹ හට....
.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

Friday, March 26, 2010

නුඹ මට වෛර කළා නම්

හදවතින්ම ආදරය කරපු දෙදෙනෙක්ගෙන් කෙනෙක් මිය ගියාම... දුක ජීවත් වෙන කෙනාටනේ.... මේ වගේ ආදරෙන් හිටපු දෙන්නෙක්ගෙන් ජීවත්ව ඉන්න කෙනා මේ විරහව විඳින්නේ කොහොමද කියලා අපි දැකලා තියෙනවා... ඒත් මියගිය කෙනා ඒක විඳින්නේ කොහොමද..... ? එයාට එය දැනෙන්නේ කොහොමද... ? මේක පුංචි පරිකල්පනයක්....


නුඹ මට වෛර කළා නම්
අඩු තරමේ මාව අමතක කළා නම්
අනේ මට හිත හදා ගන්න තිබුණා
නුඹ මට මෙච්චර ආදරේ බව දැන හිටියා නම්….
ඒත් මොනවා කරන්නද…?
මැරෙන්න තියෙනවානම් මැරෙනවාමනේ…
මාව තවත් අසරණ කරන්නේ නැතිව
තවත් ලස්සන හදක් 
තෝරගන්න බැරි ඇයි නුඹට
මට ආයෙ එන්න බෑ
නුඹේ ආදරය දැක්කම යන්නත් බෑ
මාව තවත් අසරණ කරන්න එපා….
මේ ආත්මයට විතරක්
වෙන කෙනෙක්ට ආදරය කරන්න
ලබන ආත්මයේ පටන්
අපි ආයෙත් එක්වෙමු
අනේ මට යන්න දෙන්න…
මං දැන් මැරිලා….!

පිංතූරෙ ගත්තෙ මෙතැනින්....

Monday, March 22, 2010

අඹ ගෙඩිය



රස විඳින්නට මා සිතා සිටි


ලේන් සියොතුන් ඉවට හසු වූ


ගසේ බඩගා මා නෙලා ගත්


සත්තු කාලැයි මා වීසි කළ

නුඹ………..

බොහෝ කලක් තිස්සේ පෙරුම් පුරා.... නෙලා ගත්තද ලේන් සියොතුන් ගේ ඉවට හසු වූ බැව් දැනුණු කල අපට යම් අපුලක් සිතට නොදැනේ යැයි කියන්නට පුළුවන්ද....? සත්තු කාලා.... එහෙම කියලා හිත හදාගෙන නෙළූ පලය ඉවත හෙළන්නට අපට සිතේ..... පෙරේත කම වැඩි නම් සත්තු කෑව කොටස ඉවත් කොට එය රසවිඳින්නටද අප පෙලඹෙනු ඇත.... මෙය අපේ ජීවිතයේ එක්තරා පැතිකඩක් යැයි මට සිතේ.....

Thursday, March 18, 2010

බොරු කියනවා නම් ප්ලෑන් කරලා කියන්න….



මේක මීට අවුරුදු 12කට විතර කලින් සිදුවුණු පුංචි රසවත් සිදුවීමක්. අද යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට මට මේක මතක් වුණා. මේක හොඳ විනෝදබර සිදු වීමක්.

ඔන්න අපේ යාළුවෙක් හිටියා. අපි එයාට රෝහිත කියමුකෝ.. එයා තමයි මේකෙ කථානායකයා. එහෙමත් නැත්නම් ප්‍රධාන නළුවා. මිනිහා ටිකක් විනෝදෙට බරයි. කයිවාරුවත් අඩුවක් නෑ. ඉගෙන ගන්න වගේම ක්‍රීඩාවටත් දක්ෂයි මීටර් 400 ඉසව්වෙන් සමස්ථ ලංකා තරඟ වලටත් ඉදිරිපත් වෙලා තියෙනවා.

අපි මේ කියන දවසට සති කීපයකට කලින් අපේ යාළුවා මොකක්දෝ ප්‍රධාන පෙලේ තරඟයකට සහභාගී වුණා. හම්බ වුණේ 4 වෙනි තැන. හැබැයි රූප පෙට්ටියේ ප්‍රවෘත්ති වලට මෙයාවත් යන්තම් පෙන්නුවාමිනිහා අපටත් දුරකථනයෙන් දැනුම් දුන්නා ප්‍රවෘත්ති බලන්න කියලා අපිත් ඉතින් බැලුවා කියමුකෝ

ඔන්න මං කියන දවස උදා වුණා.. අපි උ.පෙ පංති ගිය යාළුවෝ කට්ටියක් විනෝද ගමනක් ගියා. රෝහිත මේ පංතියට සහභාගී වුනේ නැති වුනත් අපේ තිබුණු හිතවත් කම නිසා එයත් අපිත් එක්ක එකතු වුණා…… අපි ගියේ සීගිරි දඹුලු.

අපිත් එක්ක ගෑනු ළමයි කීපයකුත් ගියා. ඒ අයගෙන් බොහෝ දෙනා අපේ පංතියේ අය.. අපේ මිත්‍රයා මේ ගෑණු ළමයි එක්ක පොඩි කයිවාරුවක් ගහන්න සැට් වුණා.. හැබැයි කෙල්ලො ටික මිනිහව වැඩිය මායිම් කලේ නෑ. යාළුවා ඔහුව කෙල්ලන්ට හඳුන්වා දෙන්න උත්සහ ගත්තා. මෙන්න මේ වගේ දෙබසක් තමයි ඇති වුණේ.

රෝහිත : හලෝ.. කොහොමද? මං නම් ඔයාලව දන්නේ නෑ. ඒත් ඔයාලා නම් මාව දන්නවා ඇති නේ?
කෙල්ලෙක් : අනේ අපි ඔයාව දන්නේ නෑ.. නේ
රෝහිත : මොනවා? (විශ්මය අඟවයි) ඔයාලා ටී.වී බලන්නේ නැද්ද?
කෙල්ලෙක් : අපි නිතරම ටී.වී බලනවා නේ.. ඔයා මොන ප්‍රෝග්‍රෑම් එකේ ද හිටියේ..?
රෝහිත : මාව පහුගිය කාලේ නිතරම ටීවී එකේ පෙන්නුවානේ ප්‍රවෘත්ති වලට
(හැබැයි මිනිහව පෙන්නුවේ තප්පර 0.5 ක් තරම් චූටි කෑල්ලක. ඒ මදිවට එකම එක දවසයි.)
කෙල්ලෙක් : අනේ සොරි අපි වැඩිය ප්‍රවෘත්ති බලන්නේ නෑ නේ.
(අනිත් අයත් ඒක අනුමත කළා)
ඒත් කෙල්ලෝ ටික හිමින් සීරුවේ මාරු වෙලා ගිහින් අපේ වෙන යාළුවෙක් ගෙන් අහලා තියෙනවා මොකක්ද මේ ටීවී කතාව කියලා. මිනිහා ඇත්තම දෙසා බාලා. අපේ රෝහිතයගේ පටි හතම රෝල්…….

පිංතූරෙ ගත්තේ මෙතැනින්...

ඔන්න සින්ඩියට මාත් ආවලූ.......

මං එක පාරක් සින්ඩියට එන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මා... ඒත් මගේ සටහන් ඔක්කොම තිබුණේ පිංතූර අස්සේ.. මං හිතුවේ හැමෝටම කියවන්න ලේසියිනේ... කියලා.. ඉතිං මං නිකම්ම කින්ඩි වෙලා ගියා...සිංහල අන්තර්ගතය මදි.... සින්ඩියෙන් එහෙමයි මට කිව්වේ.. මං එයාලගෙන් පුංචි ඉල්ලීමක් කරා.. මේකෙ තියෙන්නේ තනිකර සිංහල නිර්මාණ (පිංතූර අස්සේ වුණත්) ඉතිං සින්ඩියේ තීරණ ගන්න මහත්තුරු මීළඟ සාකඡ්ඡාවකදී පුළුවන්නම් පොඩි යෝජනාවක් දාන්න පිංතූර විතරක් තිබුනත් ඒ පිංතූර වල තියෙන්නේ සිංහල කරුණු නම් පොඩි අවස්ථාවක් දෙන්න කියලා.

පස්සේ මට හිතුනා.. කියවන්න මෙහෙම එකක් තියෙන බව අනිත් අය දැන ගන්න එපැයි... ඉතින් ඒකට මේ සින්ඩිය වගේ එකකට මං සම්බන්ධ වෙන්න එපැයි... කියලා. අනික ප්‍රසිද්ධ පිරුළකුත් තියෙනවනේ... මෙන්න මෙහෙම....

"පඳුර ලඟට මා යනවා විනා වේ
පඳුර මා ලඟට එනවා හිනා වේ.." 


ඔන්න ඉතින් මං කරපු වැඩේ අලුතින් දාන සටහන් වෙනම ලියලා පසුබිම් පිංතූරෙ වෙනම දැම්මා....පරණ දාපු ඒවැයිනුත් කීපයක් වෙනස් කළා... ආයිත් පාරක් දැම්මා ඉල්ලුම් පත්‍රයක්...

මෙන්න වැඩේ ගොඩ... මාව සින්ඩියට සුදුසුයි කියලා... නිර්දේශ වෙලා...

ඔන්න දැන් ඔයාලට මගේ නිර්මාණ සින්ඩිය හරහා... බලන්න පුළුවන්...

ආපු එකේ පුංච් විචාරයක් දීලා යන්නත් අමතක කරන්න එපා.... හොඳේ....

Tuesday, March 16, 2010

මං හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා....



අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් විඳින වේදනා, කරන කැප කිරීම් මෙච්චරයි, මෙපමණයි කියන්න බෑ. ඇයට ඇති ණය අපට කවදාවත් ගෙවන්නත් බෑ....
හැම අම්මා කෙනෙක්ම වගේ හීන මවන්නේ තමන්ගේ පුතා සක්විති රජෙකු කරන්න...

මගෙ අම්මත් හීන දැක්කේ ඒ ටික කරන්න.... ඒත් මං.....




මං හින්දා නුඹ නොකාපු වේල් ගණන ....කීයද
මං හින්දා නුඹ හඬාපු කඳුළු ගැළුම් ........කීයද
මං හින්දා නුඹ හෙලාපු සුසුම් වළලු ......කීයද
අම්මේ මට කියන්න ඒ ණය ගෙවන්න ..ඕනෙද

පුංචි කාලෙ අප්පච්චී ගහනකොට ..........මට
මාව බේර ගත්තේ බොරු කියා .......කුමකට
ඒ සිදුවුණ හැම පවකම උරුමෙ .........අද මට
දෙන්න මගේ අම්මේ එය සැපක් .......මා හට

නුඹ සිතු පැතු ලෙස අම්මේ නුඹේ .....පුතු කුඩා
රජ වූයේ නැත සැම පරදවා ...........ගෙන විඩා
තැවෙන්නට එපා මොහොතක් තරම හෙම හඬා
මං අද හොඳ මිනිසෙක් නුඹ හිතනවට ......වඩා


Wednesday, March 3, 2010

මිතුරු දම....

පවුල් බැඳීමට පමණක් දෙවැනි වන, ඇතැම් විට කාටත් වඩා ලං වෙන, දෙයක් වේ නම් ඒ මිතුරු දම වේ. 
එහෙත් අවංක, ආදරණීය කල්‍යාණ මිත්‍රයින් අපට හැම තැනම හමු නොවේ. 
මා එවැන්නන් කීප දෙනෙකු ලැබීමට තරම් භාග්‍යවන්තයෙකු වූ බැව් සිහිපත් කරන විට ......
මට මා ගැන සියුම් අභිමානයක් නැඟෙයි.....

අප කිසිවෙකුත් අංග සම්පූර්ණ අය නොවේ. අප අතින් වැරදි සිදුවේ. එහෙත් මා නිවැරදියි, අනෙකා වැරදියි යන මතයේ කිසිවෙකු සිටියහොත්.......එවැනි හේතුවක් නිසා අපට මිතුරෙකු, හතුරෙකු කරගත හැක. එහෙත් ඉවසීමෙන් වැඩ කලහොත් සියල්ල කාලය විසින් විසඳනු ඇත. මා එය කියන්නේ නිකම්ම නොවේ..... අත්දැකීමෙනි.

මේ ඒ අත් දැකීමයි

වරෙක මගේ ප්‍රාණ සම මිතුරු රෑනක් හිටියා...එයින් දෙදෙනෙක් ඉතාම සමීපයි. සමහරු කිව්වෙ මගෙ අග සව්වෝ කියලා... ඒත් මං වැඩිය දුර දිග හිතන්නේ නැතිව (ඇත්තටම ඕනෙවට වඩා අනුන් ගැන හිතලා) ගත්ත තීරණයක් මුල් කරගෙන, මගේ යාළුවෝ මට විරුද්ධව චෝදනා පත්‍රයක්ම සකස් කරලා මගේ හොඳම් යාළුවෝ දෙන්නව ප්‍රධාන සාක්කි කාරයෝ කරලා, විත්ති කාරයට කියන්නෙත් නැතුව දඬුවම් ක්‍රියාත්මක කළා. ඒ අය මාත් එක්ක කතා නොකර ඉන්න තීරණය කරලා. ඒත් කීප දෙනෙක් මේකට එකඟ වෙලා නෑ. නමුත් සාමූහික තීරණයක් නිසා නිහඬ වෙලා ඉඳලා තියෙනවා. 
මං මේ කාලෙ ලොකුම පීඩනයකට ලක් වුණේ මට දඬුවමක් දීලා කියලා මං දන්නැති නිසායි. නමුත් මගේ යාළුවො කීප දෙනෙක් මාත් එක්ක මේ ගැන කතා කරලා මට චෝදනා කීපයක් කිව්වට පස්සේ මට පුදුම හිතුනා මේ අයවද මං මෙච්චර ආදරෙන් ආශ්‍රය කළේ කියලා. 
ඔව්න් ඉදිරිපත් කළ චෝදනා 7-8 අතරින් එකක් හැර අනික්වා කිසිම පදනමක් නැති ඒවායි. ඔවුන් ඒවා ගෙතුවේ කොහොමද කියලා මට හිතාගන්නත් බෑ. 
අනික් හේතුවට පදනමක් තිබුණත් සත්‍යය නෙවෙයි කියලා මං දැනගෙන හිටියා. ඒත් මට ඒ කාරණේ දි මං නිවැරදියි කියලා කියන්න තිබුණේ මගේ හෘද සාක්ෂිය විතරයි.

කාළය හෙමින් ගතවුණා. මං ඔවුන්ගෙන් යාළුකම යදින්න ගියේ නෑ.... ඒත් මං ඔවුන්ගේ යාළු කම අමතක කළේ නෑ. 
මං දැනගෙන හිටියා, ඔවුන් එහෙම හිතුවේ ඔවුන්ගේ අධික සංවේදී බව නිසා කියලා. ඒත් මගේ යාළුවෝ මාව තේරුම් අරන් හිටියේ නෑ....
යාළුවන්ට උදව් කරන්න අවස්ථාවක් ආවාම මං කවදාවත් මඟ ඇරලා නෑ. ප්‍රශ්ණ ආවා වුණත් මං දිගටම ඒ ගුණය පවත්වගත්තා...
තව ටිකක් කල් යද්දී.....
එක එක ගැටය ලිහෙන්න ගත්තා.....
ඒ යාළුවෝ බොහෝ දෙනා හිටියාටත් වඩා මට ලං වුණා....
මට විරුද්ධ පිලේ හිටපු අය, බොරු ගොතපු අය අසරණ වුණා....
සත්‍යය කවදා හරි ජය ගන්නවා. එතකල් ඉවසන්න.....
ඒ වගේම අවංක යාළුවෝ හරි වටිනවා. ඔවුන්ව තේරුම් ගන්න....

ඉවසුම තියෙන තැන
සැනසුම නිතර වෙසෙතී...
කළණවූ සුමිතුරන්
අපරිමිත සම්පතකී...
සත්‍යය කෙදින හෝ
උඩට මතුවන දෙයකී...
රැකු මැන දහම ගරු
දහම ඔබවද සුරකී........!

 පිංතූරෙ ගත්තේ මෙතැනින්...

Tuesday, March 2, 2010

Please don't kill us|මිනිසුනි අනේ පවු රැස් කර ගන්න එපා!

අපි - ඒ කියන්නේ මිනිස්සු මේ ලෝකෙ බිහි වෙනකොට අපිට මේ පොළොවෙ අයිතියක් නොතිබෙන්නට ඇති. එතකොට මෙහි අයිතිය තිබෙන්නට ඇත්තේ තිරිසන් සතුන්ට වෙන්න ඇති. ඒත් ටික කලක් යද්දී මිනිසා අවි ආයුධ හදා ගෙන සතුන් දඩයම් කරගෙන කන්න පටන් ගත්තා. පස්සේ ශිෂ්ඨාචාර සම්පන්න වුණා. ඒත් අර වනචාරී යුගයේ තිබුණු පුරුදු ඉඳහිට මතක් වෙනවා... ඒකනේ නිතරම කුලල් කාගන්නේ, එකිනෙකා මරාගන්නේ, අනික් සතුන්ගේ මස් කන්නේ.

කුකුළා කොයි තරම් මිනිසා ට ලඟ සතෙක්ද...?  

උදේ පාන්දර අපිව ඇහැරවනවා....
උන්ගේ මළ පහ අපේ භෝග වලට පොහොරක් වෙනවා...
මෙකී නොකී තව ප්‍රයෝජන බොහෝමයි....

ප්‍රයෝජන නැතත් කුකුළා මිනිසාත් එක්කලා අවුරුදු දහස් ගනණක් තිස්සේ එකට ආ සතෙක් නේ...

ඒත් අද කුකුළට වෙලා තියෙන දේ පේනවනේ...

හරක් මස්, ඌරු මස් නොකන සිල් වතුන් කුකුල් මස් කන්නේ ඇයි කියලා මං හොයලා බැලුවා.. මට ඒ තරම් තාර්කික හේතුවක් නම් හමු වුණේ නෑ.  

මේ ඒ ගැන මා කළ නිර්මාණයක්....


Monday, March 1, 2010

ලෙඩ හදවත් ටෙන්ඩරය|Tender for weak Hearts

නිදහසින් වසර 62 ක් සපිරුණ ද සසිරිබර මෙ සිරිලකේ පාලකයන් අපට නිදහසක් ලබා දී නොමැත්තා සේ ය. ඔවුන් අවුරුදු 5 කට වරක් පාර්ලිමේන්තුවට තේරී පත් වෙයි..... එහෙත් ඉන් පසු ඔවුන් වැඩ කරන්නේ ජනතාව ගැන තඹ පයිසෙකටවත් මායිම් කරන්නේ නැතිව ඔවුන්ගේම සුබ සාධනය වෙනුවෙනි.

මට හිතෙන්නේ ඔවුන්ට එක්කෝ හදවත් නැතිවා විය යුතුය. නැතිනම් ඒවා පාවිච්චි නොකරනවා විය යුතුය. අවුරුදු 5ක් පුරාවට පාවිච්චි නොකිරීමෙන් දැන් ඒවා ක්‍රියාත්මක නොවෙනු ඇත.

මේ මට හිතුන දේ මං ලියපු විදිහයි....